April 28, 2026

රාණිකඩු ප්‍රදේශයේ සිට බොගවන්තලාව පාසල් වෙත සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) දින අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පාසල් සිසුන් 34 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

මෙම සිදුවීම අද (28) උදෑසන 7:30 ට පමණ සිදුවී ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ සිසුන් වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

වාර්තාවලින් පෙනීයන්නේ පෞද්ගලික බස් රථය ධාවනය වෙමින් සිටියදී එහි තිරිංග පද්ධතියේ හදිසි යාන්ත්‍රික දෝෂයකට ලක් වූ බවයි.

වාහනය නැවැත්වීමට කළ උත්සාහය අසාර්ථක වීම නිසා රියදුරු බස් රථය ප්‍රධාන මාර්ගයේ බැම්මකට යොමුකර ඇත.

අනතුරින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ළමුන් හතරදෙනකු දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලට මාරුකර ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා සඳහන් කර තිබේ.

බොගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඉතිරි සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් බොගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.