April 26, 2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියෑන් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවිය.

ඒ, ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ එමීර් සංචාරයට සමගාමීවයි.

මෙම හමුවේදී අජිත් දොවාල් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුබපැතුම් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා වන ප්‍රාර්ථනාවන් ෂෙයික් මොහොමඩ් වෙත පිරිනමන ලදී.

ෂෙයික් මොහොමඩ් ද සිය සුබපැතුම් මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත දන්වා සිටින ලෙසත්, ඉන්දියාවට සහ එහි ජනතාවට තවදුරටත් සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ වත්මන් වර්ධනයන්, එමගින් කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාවට හා ස්ථාවරත්වයට මෙන්ම ගෝලීය බලශක්ති ආරක්ෂාවට එල්ල වී ඇති බරපතල බලපෑම් පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා විය.

මෙම හමුව සඳහා අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියෑන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ මහලේකම් අලි බින් හමාඩ් අල් ෂම්සි ද සහභාගී වූහ.