April 27, 2026

බහින්බස්වීමක් දුරදිග යෑමෙන් උල් ආයුධයකින් පහරදී තම පියා ඝාතනය කර සිරුර පොල්ලෙලි ගොඩක සැඟවූ පුද්ගලයකු මාතලේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උල් ආයුධයකින් පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ අක්මාව, වකුගඩු, බෙල්ල, පෙනහැල්ල,හෘදය වස්තුව, දෑස් ආදී අවයව රැසකට හානිවී ඇති බව පොලිසිය පවසයි.

උකුවෙල, රත්වත්ත, රඹුටන්වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි හැටහත් හැවිරිදි යටිගම්මන රත්නායක මුදියන්සේ රාලහාමිලාගේ අනුර කුමාර රත්නායක නමැති දෙදරු පියෙකු මෙසේ ඝාතනය කර ඇත.

රෙදි කඩක ඔතා පියාගේ මෘතදේහය සැඟවූ පොල් ලෙලි ගොඩ ආසන්නයේ සැක සහිත අන්දමින් සැකකරු ගැවැසෙමින් සිටියදී පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඇමරිකාවේ වජරියානු ප්‍රාන්ත්‍රයේ විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබාගෙන ඇති සැකකරු කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවට, පොලිසිය සිදුකරන මූලික පොලිස් විමශර්නවලදී අනාවරණය කරගෙන ඇත.(දිවයින)