April 27, 2026

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව අඟහරුවාදා (28) රැස්වීමට නියමිත බවත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක විදේශ ණය ආපසු ගෙවීම සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරව එහිදී තීරණයක් ගන්නා බවත් එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එහිදී ගනු ලැබූ තීරණය මත පදනම්ව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ පරිගණක ජාලය හැක් කර ඇති බව කිසිසේත් විශ්වාස කළ නොහැකි බවත්, එය සිදුවී ඇත්නම් එය බරපතළ ගැටළුවක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

“ප්‍රධාන ගැටළුව වුණේ තාක්ෂණික පහරහරීමක් වෙලාද කියලා. ඒ අවස්ථාවේදී ඔහු අපට කිව්වේ, නැහැ, එහෙම සිද්ධවීමක් නෙවෙයි, ආණ්ඩුව ගෙවන්න වුවමනාවෙන් හිටියා තාක්ෂණික හේතූවක් නිසා මේක ගෙවිලා නැති නිසා ඕස්ට්‍රේලියානු රජයත් එක්ක මේ පිළිබඳ සාකච්ඡා කරනවා කියලා”

“නමුත් දැන්, මේ ගැටලුව සම්බන්ධයෙන් අපට අලුත් තොරතුරු එනකොට, අපිට දැනෙන දෙයක් තමයි පාර්ලිමේන්තුවට මේ පිළිබඳව දැනුම් දිය යුතුව තිබූණේ ජනවාරි මාසයේදී බව. ලේකම්තුමා ඉදිරිපත් කරන ලිපියේ මෙහෙම දෙයක් කියනවා… ‘හැකර්වරුන් මුදල් අමාත්‍යාංශයේ පරිගණක ජාලයට අවසරයකින් තොරව ඇතුළු වෙලා කියලා. මම විශ්වාස කරන්නේ නැහැ එක එහෙම වෙලා තියෙනවා කියලා. එහෙම වෙලානම් විශාල ප්‍රශ්නයක්නේ. එහෙම දෙයක් වෙලා නැහැ කියල මට 99% ක් විශ්වාසයි. මේ වෙලා තියෙන්නේ වෙන දෙයක් ”

“අමතක කරන්න එපා, මේ විශ්වාසය පිළිබඳවයි මේ වැඩ කටයුත්ත තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා මුදල් කමිටුවේ සාමාජිකයන් මේ ගැන දේශපාලනිකව නොසිතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස එම වගකීම භාර ගෙන, භාණ්ඩාගාර ලේකම් ඇතුළු සියලු දෙනාම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට කැඳවා, රාජ්‍ය මූල්‍ය කමිටුවට කැඳවා, අවශ්‍ය තොරතුරු ලබා දෙයි ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තවදුරටත් පැවසීය.