April 27, 2026

වසර 25ක් පුරා තමිල්නාඩුවේ සරණාගතයකු ලෙස සිටින 37 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු තමාව නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් දැක්වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

“මගේ ජීවිතය අනාථයකුගේ ජීවිතයක් වගේ,” යනුවෙන් එම පුද්ගලයා තම ඉල්ලීම ඉදිරිපත් කරමින් කෑගැසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මීට අදාළ සිද්ධිය තම X ගිණුමේ සටහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එම පුද්ගලයාට සහාය පළ කර තිබිණි.

“තරුණයකු තම අනාගතය වෙනුවෙන් අයැද සිටිනු දැකීම හද කම්පා කරවන සුළුය. තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සරණාගතයන්ගේ තත්ත්වය තවමත් දැඩි කණස්සල්ලට කරුණකි; අනන්‍යතාව පිළිබඳ ගැටළු නිසා තවත් තරුණ ජීවිත අහිමි වීමට අපට ඉඩ දිය නොහැක,” යනුවෙන් ඔහු එම සටහනේ සඳහන් කර තිබිණි.

මන්ත්‍රීවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගෙන් ඉල්ලා සිටියේ මෙම තරුණයාට ආරක්ෂිතව නැවත නිවසට පැමිණිය හැකි බව සහතික කිරීම සඳහා මැදිහත් වී වහාම පියවර ගන්නා ලෙසයි.