April 27, 2026

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු සහ වියට්නාම ජනාධිපති ටෝ ලැම් ලබන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ.

මාලදිවයින් නායකයා සමඟ අමාත්‍යවරුන් සිව්දෙනෙකු මැයි 4-5 දිනවල සංචාරය සඳහා සහභාගී වන අතර එහිදී අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අංශ සහයෝගීතාව වැනි ක්ෂේත්‍ර ආවරණය වන ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

වියට්නාම නායකයා ඉන්දියාවේ සංචාරයකින් පසුව සාමාජිකයන් 200 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ මෙරටට පැමිණෙනු ඇත.

මැයි 7 සිට 8 දක්වා පැවැත්වෙන මෙම සංචාරය සඳහා වන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිතයන් දැනටමත් කොළඹට පැමිණ සිටින බව වාර්තා වේ.

එම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙළඳාම සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.

අන්තර්ජාතික වෙසක් දින සැමරුමට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය වසරේ මැයි මාසයේදී වියට්නාමයේ සංචාරය කළේය.

මේ අතර, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ ද ලබන මාසයේ මෙරටට පැමිණෙනු ඇත.

ඔහු මැයි 4 වැනිදා පැමිණෙන අතර ගිවිසුම් කිහිපයකට අත්සන් කරනු ඇත.