April 25, 2026

මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

‘Clean Sri Lanka ජාතික වැඩ සටහන මගින් ක්‍රියාත්මක කරන “සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා…! එම ව්‍යපෘතිය යටතේ මීට මාස හතකට පමණ පෙර මරදාන දුම්රිය ස්ථානයේ ද නවීකරණ ක⁣ටයුතු ආරම්භ කළා…!
Clean Sri Lanka ජාතික වැඩසටහන, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering සංවිධානය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන ඒකාබද්ධව සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර ගැනීම වෙනුවෙන් ව්‍යාපෘතිය ආරම්භය අප සියලු දෙනා එක්ව සාකච්ඡා කළා…!

නවීකරණ ව්‍යාපෘතියේ පලමු අදියර සඳහා රුපියල් මිලියන තිස්පහක මූල්‍ය පිරිවැයක් අක්බා බ්‍රදර්ස් පුද්ගලික සමාගම විසින් දරනු ලැබූවා…! නවීකරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදු කර මාස හයක කාලයක් තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු විදිමත්ව සිදු කරන්න ඔවුනට හැකිවුණා…! ඒ යටතේ ආරක්ෂක කැමරා පද්ධති,විදුලි ආලෝක පද්ධති,නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම්,ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර හා අභ්‍යන්තර තීන්ත ආලේපනය,පරිසර අලංකරණ කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවුණා…! එමෙන්ම දශක ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක් නොවූ වර්ෂ සියයකට අධික ඉපැරණි දුම්රිය ගොඩනැගිල්ල ද ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණා…!

දිගු කාලීනව එහි පැවති දිය කාන්දුවට ස්ථිරසාර විසඳුම් ලබාදුන් අතර එහිදී වරග අඩි දෙදහසකට අධික උඩු මහලේ කොන්ක්‍රිට් ආවරණ වහලය නවීන ඉඳිකිරීම් ක්‍රමෝපායන්ට අනුගතව ජල කාන්දු නොවන ලෙස (Water Proof) ප්‍රමිතිගත කොට නවීකරණයට ලක්කොට තිබෙනවා…!

ව්‍යාපෘතිය මෙතනින් අවසන් නෑ…! දේශිය හා විදේශිය මගී ජනතාවට දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිනෙන මරදාන දුම්රිය ස්ථානය, අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කරලා තියෙන්නේ..! එහි පළමු අදියර තමයි මේ විදියට සාර්ථකව අවසන් වුණේ..!