April 23, 2026

ඉදිරි ලෝක කුසලානයේදී ඉරානය වෙනුවට ඉතාලිය ආදේශ කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයෙකු ලෝක පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා ඇති බව Financial Times වාර්තා කළේය.

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා XIV වැනි ලියෝ පාප් වහන්සේට එරෙහිව එල්ල කළ ප්‍රහාර මධ්‍යයේ ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි අතර පළුදු වූ සබඳතා යථාතත්ත්වයට පත්කිරීමේ උත්සාහයක් ලෙස මෙම සැලැස්ම ක්‍රියාත්මක බව වාර්තාවේ සඳහන් වේ.

කෙසේවෙතත් ධවල මන්දිරය, FIFA, ඉතාලි පාපන්දු සම්මේලනය (FIGC) සහ ඉරානයේ පාපන්දු සම්මේලනය (FFIRI) යන පාර්ශව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැත.

මාර්තු මාසයේ පැවැති සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේදී බොස්නියාව සහ හර්සගොවිනා හමුවේ දඬුවම් පහර 4-1 කින් පරාජය වීමෙන් පසු ඉතාලි ජාතික කණ්ඩායමට අඛණ්ඩව තුන්වැනි වරටත් ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමිවිය.

මේ අතර, ඉරානය බදාදා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ තමන් තරඟාවලිය සඳහා සූදානම් බවත්, ඊට සහභාගී වීමට සැලසුම් කර ඇති බවත්ය.