April 23, 2026

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානි වරුණ ජයසුන්දර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ(22) අධිකරණයේදී සඳහන් කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේද සඳහන් කළේය.

“ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජික කලීල් නමැත්තාගේ නිවසට අත්බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ. මේ පිටුපස සිටින්නේ යුද හමුදාව බුද්ධි අංශයේ කණ්ඩායමක්. පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව කටයුතු කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියත් මේකට සම්බන්ධයි. වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්” යනුවෙන් සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින්, “මේක බරපතළ තත්ත්වයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ප්‍රමාදයක් තිබෙනවා. නමුත් දැනට සිදු කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වෙනවා. නමුත් අධිකරණයට සාක්ෂි ලබාදුන් පුද්ගලයකුට යම් බලපෑමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැන අධිකරණය විමසිලිමත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මුලින්ම විසඳගන්න අවශ්‍යයි. වරුණ ජයසුන්දර නමැති පුද්ගලයා මේ සාක්ෂිකරුට බලපෑම් කළ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා ද?” යනුවෙන් විමසුවේ ය.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “මේ සම්බන්ධයෙන් ඍජුව ම සාක්ෂි නෑ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා,” යනුවෙන් සඳහන් කළේය.