April 23, 2026

අන්තර්ජාතික කම්කරු දින සැමරුම නිමිත්තෙන් ජාතික ජන බලවේගයෙන් මැයි රැලි 21ක් රට පුරාම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාතික ජන බලවේගය මුලින් සැලසුම් කොට තිබුණේ උතුරේ කඳුකරයේ සහ කොළඹදී මැයි රැලි 03ක් සංවිධානය කිරීමටය.

එහෙත් පවතින ඉන්ධන අර්බුදකාරී තත්වය හමුවේ සිය පක්ෂ සාමාජිකයන්ට මැයි දිනයට සහභාගිවීමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අසීරු කාරණයක් වේයැයි යන්න පිළිබඳව ජාතික ජන බලවේගයේ නායකයන්ගේ අවධානයට යොමුව ඇත.

ජාතික ජන බලවේගයේ නායක ජනපති අනුර දිසානායක සහ පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති හමුවකදී දිස්ත්‍රික් සංවිධායකයින්ගේද අදහස් හා යෝජනා අනුව අවසානයේදී තීරණය කර ඇත්තේ, දිස්ත්‍රික් මට්ටමින් උපරිම පිරිසක් සහභාගි කර ගනිමින් මැයි දින පෙළපාලියක් සහ රැස්වීමක් පැවැත්වීමටය.

මෙම සාකච්ඡාවේදී යෝජනා වී ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් දෙක සම්බන්ධ කරගනිමින් පවත්වන කඳුකරයේ මැයි රැලියටත්, මහරගමදී පවත්වන මැයි දින සැමරුමටත් සහභාගි වීමටය.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තංගල්ලේදී සහ මාතර පැවත්වෙන මැයි දින සැමරුමටත්, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය රත්නපුරයේ සැමරුමටත් සහභාගිවීමට නියමිතය.

ඇමති ලාල්කාන්තගේ සහභාගිත්වයෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගලදීත්, ඇමති විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් පුත්තලම සහ ගම්පහදීත් ඇමති බිමල් රත්නායකගේ සහභාගිත්වයෙන් උතුරේදීත් මැයි රැලි පවත්වන අතර සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර යන ඇමතිවරැන්ද දිස්ත්‍රික් මට්ටමින් පවත්වන මැයි දින සැමරැම් සඳහා සහභාගි වීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින සැමරුමේ තේමාව වන්නේ ‘ජන රජයට ජන බලයක්’ යන්නයි.