April 23, 2026

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ නඩුවේ සැකකාර සුරේ සලේ වෙනුවෙන් පෙනීසිටින බව කියන නීතිඥ උදය ගම්මන්පිල විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොතක් සමාජගත කරනු ලැබ තිබෙන බවයි.

යම් සැකකරුවකු වෙනුවෙන් පෙනීසිටිමින් ඒ හා සම්බන්ධ කරුණු උපයෝගී කරගෙන පොතක් ප්‍රකාශයට පත්කිරීම නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බවත් ඔහු එහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ, “තමන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා කවුරුන්දැයි තීන්දු කළ හැක්කේ සැකකරුට පමණයි. නමුත් නීතිඥ වේශය ගෙන ඕනෑම පුද්ගලයකුට ගොස් සැකකරු හමුවෙන්න බෑ. මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සැකකරු නිරීක්ෂණය කළ අවස්ථාවේදී ඔහු කියාසිටියා, “අසිත්” නමැති නීතිඥවරයෙකු තමන් වෙනුවෙන් පෙනීසිටින බවට. සැකකරුවෙකු වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරයෙකුට අයිතියක් තිබෙනවා. නමුත් සැකකරුවෙකු වෙනුවෙන් පෙනීසිටින අතරේ සැකකරු විසින් ලබාදෙන තොරතුරු සහ තමන්ගේ අදහස් යොදා ග්‍රන්ථයක් පළකරනවා නම් එය නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්,” බව ය.

මේ අවස්ථාවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අසිත් සිරිවර්ධන සඳහන් කළේ, නීතිඥ උදය ගම්මන්පිල එක් අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිය සේවාදායකයා හමුවූ බවය.

උදය ගම්මන්පිල තවදුරටත් සිය සේවාදායකයා වෙනුවෙන් පෙනීනොසිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.