April 23, 2026

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරු ලිපියක් යොමුකර ඇත.

ලාල් කාන්ත ඇමතිවරයාගේ නීතීඥවරයා වෙත එමගින් දැනුම් දී ඇත්තේ, අදාළ එන්තරවාසිය මගින් ඉදිරිපත් කර ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එහි සඳහන් ඉල්ලීම්ද බැහැර කරන බවයි.

නිවැරදි කිරීමේ අයිතිය පිළිගනිමින් සිය සේවාදායකයා වන ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම පසුගිය අප්‍රේල් 18 වැනි දින හිරු ටී.වී. සහ හිරු මාධ්‍ය ජාලයට අයත් අනෙකුත් සියලු මාධ්‍ය අවකාශයන් ඔස්සේ වහාම නිවැරදි කිරීමක් සිදුකළ බවද එම නීතිඥ සමාගම සිය ලිපිය මගින් දන්වා තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ ඇමැති ලාල්කාන්තගේ ප්‍රකාශයෙහි දෝෂ පවතින බවත් එම වත්කම් සහ බැරකම් ප්‍රකාශය නීතියට අනුකූලව ඉදිරිපත් කර නොමැති බවත් නීතිඥ සමාගම වැඩිදුරටත් දන්වා ඇත.

තවද, අදාළ ලිපිය මගින් දැනුම් දී තිබෙන්නේ, ‘ඔබගේ සේවාදායකයා සිය සේවාදායකයාට එරෙහිව කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහොත් ආයතනික පුරවැසියෙකු ලෙස සිය සේවාදායකයා සතු අයිතිවාසිකම් භාවිත කරනු ඇති බවත්, ඒ යටතේ අනිවාර්ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හිතාමතා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්ද නීත්‍යනුකූලව කටයුතු කරන බව’ත්ය.

එමෙන්ම, ඔබගේ සේවාදායකයා ප්‍රසිද්ධ වේදිකාවලදී පිළිගෙන ඇති පරිදි, ඔහු පොදු දේපළවලට හානිකිරීම සහ පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම වැනි කරුණුවලට සම්බන්ධ වී ඇති බැවින්, කිසියම් හෝ නීතිමය කටයුත්තක් ආරම්භ කළහොත් ඔබගේ සේවාදායකයා යනු කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙකු යන ස්ථාවරය අධිකරණය ඉදිරියේ සිය සේවාදායකයා විසින් ගෙනහැර දක්වනු ඇති බව’ද නීතිඥ සමාගම සිය ලිපිය මගින් දන්වා ඇත.

සිය සේවාදායකයාගේ විකාශන අයිතියට අනිසි ලෙස බාධා කිරීමේ ඕනෑම උත්සහයකට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් එම නීතිඥ සමාගම දන්වා තිබේ.