April 22, 2026

ශ්‍රී ලංකාව සතු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩමකරවා වන්දනාමාන කිරීමට හා ප්‍රදර්ශනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ක්‍රි.පූ.1‑2 සියවස්වලට අයත් නීලගිරි ස්ථූප කැණීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා සහ තායිලන්ත රජයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා මෙන්ම මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇත.

එම සර්වඥ ධාතුන් වහන්සේලා 2026-05-02 දින සිට 2026-05-10 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධාන කර දෙන ලෙස එම භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමින් වහන්සේ සහ ගරු පඤ්ඤාකර ස්වාමින් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, එකී සර්වඥ ධාතුන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවීම සඳහාත්, එකී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව ලබාදීම සඳහාත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.