April 21, 2026

මැයි 1 වැනි දිනට නියමිත අන්තර්ජාතික කම්කරු දිනය (මැයි දිනය) පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන වැරදි තොරතුරු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

සම්බන්ධයෙන් එජාපයේ නිල සංකේත භාවිත කරමින් අන්තර්ජාලය හරහා බෙදාගන්නා ලද සටහන් කිහිපයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒවා තම ස්ථාවරය නියෝජනය නොකරන බවත් එක්සත් ජාතික පක්ෂය එමගින් පවසයි.

මෙම වසරේ මැයි 1 වැනි දින වෙසක් පෝය යෙදී ඇති බවත්, එබැවින් එක්සත් ජාතික පක්ෂය ස්වාධීනව හෝ වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ සහයෝගයෙන් කිසිදු මැයි දින සැමරුමක් පැවැත්වීමට තීරණය කර නොමැති බවත් එජාපය සඳහන් කරයි.

මැයි දින ක්‍රියාකාරකම් පිළිබඳ ඕනෑම නිල නිවේදනයක් එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව සහ නිල යූ ටියුබ් නාලිකාව හරහා පමණක් නිකුත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඒකාබද්ධ මැයි දින රැළියක් පවත්වන බව සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් මීට පෙර ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.