April 20, 2026

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් එවන ලද එන්තරවාසියට ඉදිරි පැය 24 ඇතුළත ප්‍රබල පිළිතුරක් යොමු කරන බව හිරු මාධ්‍ය ජාලය පවසයි.

තමාගේ 2025 වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කළ බවට චෝදනා කරමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (පෞද්ගලික) සමාගමට එරෙහිව මෙම එන්තරවාසිය නිකුත් කර තිබිණි.

එහි සඳහන් වූයේ, අමාත්‍යවරයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ තොරතුරු උපුටා දක්වමින් ඔහුගේ වත්කම් රුපියල් මිලියන 460 ඉක්මවන බවට හිරු මාධ්‍ය ජාලය අප්‍රේල් 16 වැනිදා පුවත් වාර්තාවක් ප්‍රකාශයට පත් කළ බවයි.

විශේෂයෙන්ම තම දියණියගේ නමින් ඇති දේපළ සහ සමාගම් කොටස් පිළිබඳ හිමිකම් පෑමේදී එම සංඛ්‍යාලේඛන හිතාමතාම අතිශයෝක්තියට නංවා වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව, අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය සම්බන්ධයෙන් මීට පෙර වාර්තා කිරීමේදී සිදු වූ දෝෂයක් පිළිගනිමින් හිරු මාධ්‍ය ජාලය කියා සිටියේ එය කලින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛන ගණනය කිරීමේදී සිදු වූ වැරැද්දක ප්‍රතිඵලයක් බවයි.

සෙනසුරාදා නිකුත් කරන ලද නිවැරදි කිරීමේ නිවේදනයක දැක්වුණේ, අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 383.9ක් බවත් ඔහුගේ මුළු දළ වත්කම් රුපියල් මිලියන 460 ඉක්මවන බවත් මීට පෙර වාර්තා කර තිබුණේ වැරදි සහගත ලෙස බවයි.

එමෙන්ම අදාළ ජනමාධ්‍ය ආයතනය ප්‍රකාශ කළේ ප්‍රකාශිත සුරැකුම්පත්වල නිවැරදි වටිනාකම දළ වශයෙන් රුපියල් 143,475ක් විය යුතු බවත්, කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කර ඇති මුළු දළ වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 80ක් පමණ වන බවත්ය.

මේ අතර හිරු මාධ්‍ය ජාලය විසින් හිරු ටීවී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යෂක තරංග දිනූෂ් ජයකොඩිගේ අත්සනින් යුතුව අද (20) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අමාත්‍ය ලාල් කාන්ත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපියක් මගින් ආයතනයේ කීර්ති නාමයට හානි කිරීමට දරන උත්සාහයක් දැඩි ලෙස හෙළා දකින බව ද එහි සඳහන් වේ..

හිරු මාධ්‍ය ජාලය පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති බවට සඳහන් වන එම ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව  තරංග දිනූෂ් ජයකොඩි අදාළ නිවේදනය මගින් පැහැදිලි කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, හිරු මාධ්‍ය ජාලය පොලිස්පතිවරයාගෙන් එවැනි කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

මෙම ව්‍යාජ ලේඛනය සකස් කරන සහ ප්‍රචාරය කරන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත.