April 20, 2026

රුපියල් මිලියන 64කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විදේශීය සමාජ මාධ්‍යවලට සම්බන්ධ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද (20) උදෑසන ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දුනීසියානු ජාතිකයන් ලෙස හඳුනාගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 22ක පිරිමියකු සහ වයස අවුරුදු 30ක කාන්තාවක් වේ.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවරදී මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත ප්‍රවාහනය කර ඇති බවත්, පසුව අලුයම 12.53ට කටුනායක බණ්ඩාරනායක අනතර්ජාතික ගුවන්තොටුපළට 6E-1183 දරණ ඉන්ඩිගෝ ගුවන් යානයෙන් පැමිණි බවත්ය.

සැකකරුවන් ගමන් මලු දෙකක් තුළ සඟවා පැකට් පහක ‘කුෂ්’ කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 401ක් සඟවා තිබූ බව පොලිසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනා අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇත.