April 19, 2026

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුං තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටියි.

වසර අටකට වැඩි කාලයකට පසු දකුණු කොරියානු නායකයෙකු ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම සංචාරය ඉන්දියාව සහ දකුණු කොරියාව අතර පවතින විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමේ “වැදගත් සන්ධිස්ථානයක්” ලෙස හැඳින්වීය.

2025 ජුනි මාසයේදී දකුණු කොරියාවේ ජනාධිපති ධූරයට පත් වූ ලී අද ඉන්දීය ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන නිල පිළිගැනීමේ උත්සවයට පෙර විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවිය.

ඔහු මහත්මා ගාන්ධි උත්තමාචාරය පුද කිරීම සඳහා රාජ්ගාට් වෙතද යාමට නියමිතය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා පසුව ඔහුගේ මෙම සංචාරයේ ප්‍රධාන අංගය වන හයිද්‍රාබාද් හවුස්හිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සමුළුවක් පවත්වනු ඇත.

නායකයන් දෙපළ අතර පැවැත්වෙන සාකච්ඡාවලදී අර්ධ සන්නායක, ආරක්ෂක නිෂ්පාදන, හරිත බලශක්තිය සහ විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම ඇතුළු වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමුළුවෙන් පසුව ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමටද නියමිතය.

ජනාධිපති ලී භාරත් මණ්ඩපයේ (Bharat Mandapam) පැවැත්වෙන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමටත්, ඔහුගේ සංචාරය අවසන් කිරීමට පෙර ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවීමටත් සැලසුම් කර ඇත.