April 20, 2026

මත්කුඩු පානය කිරීම සඳහා මුදල් ලබාගැනීමේ අරමුණින් තම බිරිඳ අසල්වැසියකුට අලෙවි කළ අයෙකු හා ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සිද්ධියෙන් පසු තිස්පස් හැවිරිදි තිදරු මව සියදිවි හානිකර ගැනීමේ අරමුණින් මහනුවර වැවට පැන තිබෙන අතර, ත්‍රිරෝද රථ රියදුරකු විසින් ඇයව බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී තිබේ.

පසුව ප්‍රතිකාර සඳහා ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ වාට්ටුවට ඇතුළත් කර තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් හමුවේ සියදිවි නසාගැනීමට හේතුවූ කරුණු දක්වමින් මේ බව හෙළිකර ඇත.

මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූ සැමියා මෙයට වසර පහකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 11ක මුදලකට වකුගඩුවක් අළෙවි කර එම මුදලින්ද මත්කුඩු පානය කළ බව ඇය පවසා තිබේ.

අවුරුදු 13, 12 හා 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය පවසා ඇත්තේ, මත්කුඩු පානය සඳහා මුදල් නොමැතිව සැමියා අසල්වැසි පුද්ගලයකු සමඟ ලිංගිකව එක්වන ලෙස තමන්ට බලපෑම් කළ බවයි.

එම පුද්ගලයා තමන්ගේ අතපය ගැටගසා අතවර කළ බවත්, එම සිද්ධියෙන් පසු ඇතිවූ මානසික කම්පනය ඉවසා ගැනීමට නොහැකිවූ නිසා වැවට පැන සියදිවි නසාගැනීමට තීරණය කළ බවත් ඇය වෛද්‍යවරුන් හමුවේ පවසා තිබේ.

මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් දරුවන් තිදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ළමා රක්ෂණ අධිකාරියට සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇත.

බිරිඳ මුදලට අළෙවි කළ හා ඇයට අතවර කළ බව කියන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසියට තොරුතුරු ලබාදීමට පේරාදෙණිය රෝහලේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.