April 20, 2026

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු පෙරේදා (18දා) මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු නමැති දරුණු ගණයේ අපරාධකරු දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන 48ක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව විමශර්නවලින් හෙළිවී ඇත.

‘කරන්දෙණියේ සුද්දා’ නමැති දරුණු ගණයේ පාතාල නායකයාගේ සොහොයුරා බව කියන රාජු ඩුබායි සිට ග්‍රීසියට පළායෑම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීමට ඉන්දියාවට පැමිණෙද්දී අත්අඩංගුවට පත්විය.

පසුගියදා අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම, කරන්දෙණියේ හිත හොඳ දොස්තර මරාදැමීම, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මරාදැමීම මෙහෙයවා ඇත්තේ කරන්දෙණියේ රාජු විසින් බව මේ වනවිට අනාවරණය වී ඇත.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන සඳහා කුලී පදනම මත ආයුධ ලබා දීම, දකුණේ ව්‍යාපාරිකයන්ට, ධනවතුන්ට මරණ තජර්න කර කප්පම් ලබාගැනීම ඇතුළු තවත් බරපතළ ගණයේ අපරාධ රැසකට මෙම පාතාල ප්‍රබලයා සම්බන්ධ බව පොලිසිය පවසයි.

කරන්දෙණියේ රාජු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ විමශර්න කායර්යාංශය විසින් සිදුකළ පුළුල් විමශර්නයක ප්‍රතිඵලයක් ලෙසය.

අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම කරන්දේණියේ සුද්දාගේ නියෝග මත කරන්දෙණියේ රාජු විසින් මෙහෙයවා තිබූ බව මධ්‍යම අපරාධ විමශර්න ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ ඇතුළු නිලධාරීන් කළ විමශර්නයකදී අනාවරණය වී තිබිණි.

ඒ අනුව ඊට සම්බන්ධ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගන්නා ලදී. එසේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ගෙන් ප්‍රශ්න කිරීමේදී කරන්දෙණියයේ රාජු ඩුබායි සිට ග්‍රීසිය බලා යෑමට සැලසුම් කර ගෙන සිටින බවත්, එක්තරා පුද්ගලයකු ඔහුට ඉන්දියාවේදී වීසා බලපත්‍ර ලබාදීමට සූදානමින් සිටින බවත් හෙළි කර ගැනීමට පොලිසිය සමත්විය.

කරන්දෙණියේ රාජුට වීසා බලපත්‍ර ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ඉන්දියාවේ රැඳී සිටින පුද්ගලයාට ලබාදීමට පොරොන්දුවී සිටි බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත. එමෙන්ම රාජුට අයත් අලුත්ම විදේශ ගමන් බලපත්‍රයේ තොරතුරු ලබා ගැනීමට ද සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ ඇතුළු නිලධාරීහු සමත් වූහ.

පොලිස් අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් මධ්‍යම අපරාධ අංශයේ නිලධාරීන් කරන්දෙණියේ රාජු පිළිබඳ සියලු කොඩිතුවක්කු මහතාගේ පූණර් අධීක්ෂණය සහ උපදෙස් මත විමශර්න කළ තොරතුරු ඉන්දීය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව කරන්දෙණියේ රාජු ඩුබායි සිට ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

පසුව ඉන්දීය පොලිසිය මගින් කළ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඉන්දියාවට ගොස් කරන්දෙණියේ රාජු සිය භාරයට ගෙන පෙරේදා අලුයම මෙරටට රැගෙන ආහ.

මේ වනවිට මෙම අපරාධකරු මධ්‍යම අපරාධ විමශර්න කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. අපරාධකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බව උසස් නිලධාරියෙක් කියාසිටියේය.

කරන්දෙණියේ රාජුගේ මුල්ම මිනිස් ඝාතනය වන්නේ කරන්දෙණියේ හිතහොඳ දොස්තර මහතා වෙඩි තබා ඝාතනය කිරීමය. කරන්දෙණියේ සුද්දා නමැති සිය වැඩිමහල් සොහොයුරා සමග එක්ව එම ඝාතනය සිදු කරන්නේ මුදල් කොන්ත්‍රාත්තුවක් මතය.

ඊට අමතරව අම්බලංගොඩ ගලගොඩ සූසා ඝාතනය, අම්බලන්ගොඩදී එකම පවුලේ මව, පියා, කුඩා දරුවා මරාදැමීම, අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයේදී අනුෂ්ක සහ සඳුන් යන අය වෙඩි තබා ඝාතනය කිරීම, මීටියාගොඩ පලතුරු ප්‍රියන්ත මරා දැමීම, අම්බලංගොඩදී බැනට් විජිත් සහ තවත් අයකු මරා දැමීම, හික්කඩුවේදී කලුපෙ ප්‍රසන්න සහ ඉසුරු යන දෙදෙනා ඝාතනය කිරීම, අම්බලංගොඩදී චූටි මාමා නමැත්තා මරා දැමීම, වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ජයරත්න මරා දැමීම සහ අලුත්ගම තැඹිලි ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරන්දණියේ රාජුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. අම්බලංගොඩ මාදම්පේ දී සුගත්සිරි මරා දැමීම, ගාල්ල හිනිදුමදී ත්‍රිත්ව ඝාතනයන් සිදු කිරීම, අම්බලංගොඩ ඌරවත්තේදී ද්විත්ව ඝාතනයක් කිරීම, හික්කඩුවේ කීතර්‍රවංශ යන අය මරා දැමීම, තෙල්වත්තේ ප්‍රියන්ත ඝාතනය, අහුංගල්ලේ ලොකු පැටීගේ මස්සිනා වූ ප්‍රියංජන ඝාතනය කිරීම, බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සිරිදත් ධම්මික මරා දැමීම, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය, ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මරාදැමීම සම්බන්ධයෙන් ද මෙම අපරාධකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

ඊට අමතරව හික්කඩුවේ ස්ටිකර් සජී යන තවත් අයකු මරාදැමීම, දෙවුන්දර ඩිලයිට් ඝාතනය, මහදුර නිලීන් සහ නාලනී මරාදැමීම, සිංගර් කෝසල නමැත්තා ඝාතනය කිරීම, උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය මරා දැමීම, නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය, තෙල්වත්තේ කලුවා මරා දැමීම, මාදම්පේ පොඩි සුද්දා ඝාතනය, කුරුඳුගහ ප්‍රදේශයේදී තරුණයකු මරා දැමීම, කොබේතුඩුවේ නුවන් මරා දැමීම, පොඩි දිමුතු ඝාතනය සම්බන්ධයෙන් ද කරන්දෙණියේ රාජුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මේ සියලු ඝාතන සඳහා මොහු සම්බන්ධ වන්නේ ඔහුගේ සොහොයුරා වන කරන්දේණියේ සුද්දාගේ උපදෙස් මත බව ද විමශර්නවලින් හෙළිවී ඇත.
මේ සියලු අපරාධ සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීම් කරන බව ද පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමශර්න අංශයේ අධ්‍යක්ෂ කමල් ආරියවංශගේ මෙහෙය වීමෙන් විමශර්න පැවැත්වෙයි.

(දිවයින)