April 19, 2026

මහරගම ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් ගිනි තැබූ බව කියන සිද්ධියකින් මවක් සහ ඇගේ නව යොවුන් වියේ පසුවූ දියණිය මිය ගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මහරගම පමුණුව ප්‍රදේශයේ කුලියට ගත් නිවසක උඩු මහලක ජීවත් වූ 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 16 හැවිරිදි දියණිය මෙලෙස මිය ගොස් ඇත.

තුවාල ලැබූවන් අතර දැරියගේ පියා සහ 76 හැවිරිදි නිවාසේ හිමිකරු ද සිටින අතර ඔවුන් දෙදෙනාම බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත.

මෙම ගිනි තැබීම සිදුව ඇත්තේ සිකුරාදා (18)ය.

අසල්වැසියන් ගින්න නිවා දමා තුවාල ලැබූ පිරිමි පිරිමි පුද්ගලයන් දෙදෙනා රෝහල් ගත කර තිබිණි.

පසුව කළ සෝදිසියකදී නිවසේ කාමරයක් තුළ කාන්තාවගේ සහ ඇගේ දියණියගේ මළ සිරුරු තිබී හමු වී ඇත.

සිද්ධිය වූ ස්ථානයේ පෙට්‍රල් සුවඳක් වහනය වූ බව මූලික පරීක්ෂණවලින් පෙනී යන බව පොලිසිය පවසයි.

ඒ අනුව මෙම ගින්න ද්විත්ව ඝාතනයකට තුඩු දෙන හිතාමතා කළ ගිනි තැබීමක් බවට සැක පළ වී තිබේ.

ගිනි තැබීමට හේතුව තවමත් තහවුරු වී නොමැති අතර මහරගම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.