April 18, 2026

තම 2025 වත්කම් සහ බැරකම් ප්‍රකාශය වැරදි ලෙස නිරූපණය කර අපහාසාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කළ බවට චෝදනා කරමින්, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සීමාසහිත ආසියානු විකාශන සමාගමට(හිරු නාලිකාව) එරෙහිව එන්තරවාසියක් යොමුකර කර තිබේ.

අප්‍රේල් 18 දිනැති එහි සඳහන් වන්නේ, හිරු මාධ්‍ය ජාලය අප්‍රේල් 16 වැනි දින අමාත්‍යවරයාගේ වත්කම් රුපියල් මිලියන 460 ඉක්මවන බවට සඳහන් කරමින් ප්‍රවෘත්තියක් විකාශනය කළ බවයි.

ඇමැති ලාල් කාන්ත තර්ක කරන්නේ, විශේෂයෙන් තම දියණියගේ නමින් ඇති දේපළ සහ සමාගම් කොටස් පිළිබඳ ප්‍රකාශ සංඛ්‍යා හිතාමතාම අතිශයෝක්තියට නංවා වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි, .

එන්තරවසියට අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ ඔහුගේ නම, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දියණියගේ වත්කම් ඇතුළත් වූ නමුත්, හිරු නාලිකාව ඒවා නොමඟ යවන ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ.

“අමාත්‍ය ලාල් කාන්තගේ වත්කම් රුපියල් මිලියන 460 ඉක්මවයි” යන මාතෘකාව යටතේ ඩිජිටල් වේදිකා හරහා නැවත පළකිරීමත් සමඟ මෙම වාර්තාව ඔහුගේ කීර්තිනාමයට හානිකිරීමට අදහස් කර ඇති බව අමාත්‍යවරයා තර්ක කරයි.

රූපවාහිනී ජාලයකට යවන ලද නීතිමය එන්තරවසියේ, අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ආසන්න වශයෙන් රුපියල් 143,000 ක් වටිනා තම දියණියගේ නමින් ඇති කොටස්, රුපියල් මිලියන සිය ගණනක් වටිනා ආයෝජන ලෙස වැරදි ලෙස වාර්තා කර ඇති බවයි.

අදාළ කොටස් රුපියල් 90,000 කට පමණ මිලදී ගෙන ඇති අතර දැනට ඒවායේ වටිනාකම රුපියල් 143,000 කට ආසන්න බව ඔහු පවසයි.

කෙසේවෙතත්, ජනමාධ්‍ය වාර්තාවේ සඳහන් වූයේ, ලාල්කාන්ත ඇමැතිවරයා විවිධ සමාගම් හරහා රුපියල් මිලියන 380 කට වඩා වටිනා සුරැකුම්පත් හිමිකාරීත්වය දරන බවයි.

අමාත්‍යවරයා පවසන්නේ, එය “සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු” බවයි.

එන්තරවාසියේ තවදුරටත් සඳහන් වන්නේ, මෙම ප්‍රවෘත්තිය අමාත්‍යවරයාගේ මහජන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුකර ඇති බවයි.

ඒ අනුව දින හතක් ඇතුළත රුපියල් බිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස අමාත්‍ය ලාල් කාන්ත ඉල්ලා සිටින අතර, ඊට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, එහි පිරිවැය සහ පොලිය අයකර ගැනීම ඇතුළු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද අනතුරු අඟවා තිබේ.

පක්ෂග්‍රාහී සහ අපහාසාත්මක අරමුණු සඳහා පොදු සංඛ්‍යාතයක් අනිසි ලෙස භාවිත කරන බවට චෝදනා කරමින්, හිරු මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අවලංගු කරන ලෙස බලධාරීන්ට පෙත්සමක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.