April 18, 2026

මැදපෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ, ලෝක සාමය සහ ජාතීන් අතර සමගිය සඳහා මෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකානු ජනතාවට ආශිර්වාද කිරීම සඳහා අප්‍රේල් 16 වැනිදා ධවල මන්දිරයේදී විශේෂ බෞද්ධ ආගමික වැඩසටහනක් පැවැත්වී තිබේ.

මෙම අවස්ථාවට එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ සහ ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරන භික්ෂූන් වහන්සේ සහභාගී වූහ.

උන්වහන්සේ මේරිලන්ඩ් අන්තර්ජාතික බෞද්ධ විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක ධුරය ද හොබවති.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ජනාධිපති ට්‍රම්ප්ගේ දේවගැතිවරිය ලෙස හඳුනාගෙන ඇති පෝලා විසිනි.

රැස්ව සිටි පිරිස අමතමින් පූජ්‍ය උපරතන නායක හිමිපාණන් වහන්සේ පැවසුවේ ථෙරවාද බෞද්ධ පිළිවෙත්වලට අනුකූලව ලෝක සාමය සඳහා ආශිර්වාද පැවැත්වීම සඳහා එක්සත් ජනපද ජනාධිපතිවරයා කළ ආරාධනය ශ්‍රී ලාංකික භික්ෂුවක් ලෙස තමාට පමණක් නොව සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවටම ලැබුණු සුවිශේෂී ගෞරවයක් බවයි.

මෙමගින් ශ්‍රී ලංකාව සහ බුද්ධාගම කෙරෙහි ඇමරිකානු නායකත්වය දක්වන විශ්වාසය, ගෞරවය සහ පිළිගැනීම පිළිබිඹු වන බව උන්වහන්සේ තවදුරටත් පැවසූහ.