April 17, 2026

HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විකෘති ලෙස තොරතුරු වාර්තා කළ ජනමාධ්‍ය නාලිකාවක් ‘අදාළ අමාත්‍යංශය’ ඉදිරියට කැඳවා කරුණු විමසන බව ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

අද පස්වරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා විශාල ඉහළ මිලකට ශ්‍රී ලංකාව බොරතෙල් මිලදී ගෙන ඇති බවට අදාළ ජනමාධ්‍ය නාලිකාව අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවයි.

පවතින තත්ත්වය මත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සාමාන්‍ය මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි විසින් පවසා තිබෙන බව අදාළ ජනමාධ්‍ය නාලිකාව ඊයේ(16) වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් අද පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන ලද්දේ, අමෙරිකානු ඩොලර් 286ක මිලකට ශ්‍රී ලංකාව මිලදීගෙන ඇත්තේ, බොරතෙල් නොව ඩීසල් තොගයක් බවයි.