April 17, 2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනාම රුපියල් මිලියනය බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔවුන්ට විදේශගත වීම වැළැක්වීමේ සංචාරක තහනමක් ද පනවන ලදී.

නඩුව සැප්තැම්බර් 08 වැනිදා නැවත කැඳවන ලෙසත්, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයන් හය දෙනෙකු බඳවා ගෙන හිටපු මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පාඩුවක් සිදු කළ බවට චෝදනා මත අල්ලස් කොමිසම මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.