April 13, 2026

එක්සත් ජනපදය සහ ඉරානය යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට අපොහොසත් වීමෙන් පසු, ඉරාන තෙල් ප්‍රවාහනය සීමා කළහැකි, හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට එක්සත් ජනපද නාවික හමුදාව සඳුදා සූදානම් වීමත් සමඟ ගෝලීය තෙල් මිල බැරලයක මිල යළිත් ඩොලර් 100 ඉක්මවා ගියේය.

සිකුරාදා තෙල් බැරලයක මිල 0.75% කින් පහත වැටීමෙන් පසු, මෙලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 7.60 කින් හෙවත් 7.98% කින් ඉහළ ගොස්, බැරලයකට ඩොලර් 102.80 ක් ලෙස සටහන් වී ඇත.

එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක මිලද ඩොලර් 8.31 කින් හෙවත් 8.61% කින් ඉහළ ගොස් ඩොලර් 104.88 ක් ලෙස සටහන් වී තිබේ.

“දැන් සටන් විරාමයට පෙර වෙළඳපොළ පැවැති තත්වයට බොහෝ දුරට නැවත පැමිණ ඇත. දැන් එක්සත් ජනපදය හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ගමන් කරන බැරල් මිලියන 2ක් දක්වා වූ ඉරාන ප්‍රවාහයන් අවහිර කරනු ඇත,” MST මාර්කි හි බලශක්ති පර්යේෂණ ප්‍රධානී සෝල් කවොනික් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ඉරානය සමඟ පැවති සාකච්ඡා යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට අසමත් වීමෙන් සති දෙකක සටන් විරාමයක් අනතුරේ හෙළීමෙන් පසුව, එක්සත් ජනපද නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා පැවසීය.