April 11, 2026

ආගමන බලපත්‍ර සීමාව ඉක්මවා සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු එරට බහු මහල් රථගාලකට ඉහළින් පිහිටි උද්‍යානයක නිදා සිටියදී සිංගප්පූරු ආගමන සහ මුරපොල අධිකාරියේ නිලධාරීන් විවිස්න් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් 8 වැනිදා අලුයම මෙම පුද්ගලයා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කල් ඉකුත් වූ සමාජ සංචාර අවසර පත්‍රයක් සහිත අධික කාලයක් රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මතය.

27 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු වන මෙම පුද්ගලයා 2025 ජුනි 28 වැනිදා සිට මෙලෙස රැඳී සිට ඇති බව ආගමන සහ මුරපොල අධිකාරියේ නිලධාරීන් සඳහන් කර තිබේ.

සැකකරු තවත් විදේශිකයකු සමඟ සිට ඇති අතර අනෙක් පුද්ගලයා වලංගු වැඩ බලපත්‍රයක් ඉදිරිපත් කළ විට නිදහස් කර ඇත.

පළමු සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ජංගම ස්වයංක්‍රීය සත්‍යාපන සහ හඳුනාගැනීමේ පද්ධතියක් මගින් අනන්‍යතාව පරීක්ෂා කිරීමෙන් පසුය.

ආගමන සහ මුරපොල අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව, සිංගප්පූරුවේ අත්අඩංගුවට ගත් බොහෝ ආගමන වැරදිකරුවන් අතර වැඩි වශයෙන් සිටින්නේ අධික කාලයක් බලපත්‍ර උල්ලංඝනය කරමින් රැඳී සිටි අයයි.

2025 දී අත්අඩංගුවට ගත් ආගමන වැරදිකරුවන් 538 දෙනාගෙන් 484ක් සීමාව ඉක්මවා රැඳී සිටි අය වන අතර 54ක් නීති විරෝධී සංක්‍රමණිකයන් වේ.

සිංගප්පූරුවේ නීතිය යටතේ, සීමාව ඉක්මවා රැඳී සිටින්නෙකුට මාස හයක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි අතර, අවම වශයෙන් වේවැල් පහර තුනක් හෝ උපරිම වශයෙන් ඩොලර් 6,000ක දඩයක් නියම කළ හැකිය.

ආගමන වැරදිකරුවන් පිටුවහල් කරනු ලබන අතර ජනරජයට නැවත ඇතුළුවීම ද තහනම් කරනු ලැබේ.