April 8, 2026

උතුරු කොරියාව අද කෙටිදුර විහිදෙන බැලස්ටික් මිසයිල කිහිපයක් මුහුද දෙසට මුදාහැර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.

මෙය දින දෙකක් තුළ සිදු වූ දෙවැනි මිසයිල දියත්කිරීමයි.

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසන පරිදි, උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ වොන්සාන් ප්‍රදේශයෙන් මෙම මිසයිල මුදාහරින ලද අතර, ඒවා කිලෝමීටර් 240ක් (සැතපුම් 150ක්) පමණ දුරක් නැගෙනහිර මුහුද දෙසට ගමන් කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින ශක්තිමත් හමුදා සන්ධානය යටතේ උතුරු කොරියාවේ ඕනෑම ප්‍රකෝප කිරීමකට මුහුණදීමට සූදානමින් සිටින බව දකුණු කොරියාව ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ දිනයේදී ද උතුරු කොරියාවේ අගනුවර ආශ්‍රිත ප්‍රදේශයකින් හඳුනානොගත් ප්‍රක්ෂේපණයක් දියත්කළ බව දකුණු කොරියානු හමුදාව හඳුනාගෙන තිබුණි.

දකුණු කොරියානු සහ ඇමරිකානු බුද්ධි අංශ එම දියත් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බව ද පැවසේ.

දකුණු කොරියානු ජනමාධ්‍ය වාර්තා කළේ පෙර දින දියත් කළ ප්‍රක්ෂේපණය (එය ද බැලස්ටික් මිසයිලයක් විය හැකිය) දියත් කළ මුල් අවධියේදීම අසාමාන්‍ය තත්ත්වයක් පෙන්වා දකුණු කොරියානු හමුදා රේඩාර් පද්ධතිවලින් මැකීගිය බවයි.

වාර්තාවලට අනුව මෙයින් හැඟවෙන්නේ එම දියත් කිරීම අසාර්ථක වී ඇති බවයි.

දකුණු කොරියානු රජය දෙරට අතර අඩපණ වී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දිගින් දිගටම බලාපොරොත්තු පළකළද, උතුරු කොරියාව එම සබඳතා දියුණු කර ගැනීමට කිසිදු අදහසක් නොමැති බව පැහැදිලි කිරීමෙන් පසුව මෙම මිසයිල දියත් කිරීම් සිදුවිය.