April 8, 2026

ඉරානය එක්සත් ජනපදය සමඟ සති දෙකක සටන් විරාමයකට එකඟ වී ඇති අතර, ටෙහෙරානය ඉදිරිපත් කළ කරුණු 10 කින් යුත් යෝජනාවලිය පදනම් කරගෙන වොෂින්ටනය සමඟ සාකච්ඡා ලබන සිකුරාදා පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හිදී ආරම්භ වන බව එරට ජාතික ආරක්ෂක මණ්ඩලය පවසයි.

ඉරානය අද මෙම ප්‍රකාශය සිදුකළේ, ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට තමන් කළ තර්ජනය තාවකාලිකව අත්හරින බවත්, සති දෙකක කාලයක් එරටට එල්ල කරන ප්‍රහාර අත්හිටුවන බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුවය.

ගල්ෆ් කලාපය අරාබි මුහුදට සම්බන්ධ කරන සහ ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන පටු මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟවන්නේ නම් පමණක් මෙම සටන්විරාමය ක්‍රියාත්මක වන බව ද ට්‍රම්ප් පැවසීය.

පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළඳාමට බාධා එල්ල වූ අතර, එමගින් තෙල් මිල ඉහළ ගොස් ලොව පුරා ඉන්ධන හිඟයක් ද ඇතිවිය.

ඉරානයේ ප්‍රතිප්‍රහාර ගල්ෆ් කලාපය පුරා දෝංකාර දුන් අතර, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ යේමනයේ හූති කැරලිකරුවන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරමින් මෙම ගැටුමට සම්බන්ධ වීම නිසා යුද්ධය සැලකිය යුතු ලෙස පුළුල් විය.

ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් සියලුම මිලිටරි අරමුණු සාක්ෂාත් කර ඇති අතර ඒවා ඉක්මවා ගොස් ඇති බවත්, ඉරානය සමඟ “දිගුකාලීන සාමය සම්බන්ධ නිශ්චිත ගිවිසුමක් කරා බොහෝදුරට පැමිණ ඇති බවත් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ තැබූ සටහනක සඳහන් කළේය.

ඉරානයෙන් කරුණු 10ක යෝජනාවලියක් ඇමරිකාවට ලැබී ඇති බවත් එය සාකච්ඡා සඳහා ප්‍රායෝගික පදනමක් ලෙස තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

ඇමරිකාව සහ ඉරානය මතභේදයට තුඩුදුන් කරුණු බොහොමයකට දැනටමත් එකඟ වී ඇති බවත්, මෙම සති දෙකක කාලය ගිවිසුම අවසන් කිරීමට සහ සම්පූර්ණ කිරීමට ඉඩ සලසන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් අදහස් දක්වමින් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද ටෙහෙරානයේ එකඟතාව තහවුරු කළේය.