April 6, 2026

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සිදුකරන දැඩි ප්‍රකාශ නිකුත්කිරීම ඉරානය හාස්‍යයට ලක්කරමින් සිටී.

ට්‍රම්ප්ගේ තර්ජනවලට ඉරානය උපහාසයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.

සිම්බාබ්වේ හි ඉරාන තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ, හොමූස් සමුද්‍ර සන්ධියේ “යතුරු නැති වී” ඇති බවයි.

මේ අතර දකුණු අප්‍රිකාවේ ඉරාන තානාපති කාර්යාලය පැවසුවේ හොමූස් සමුද්‍ර සන්ධියේ යතුර “මල් පෝච්චිය යට” ඇති බවත් එය මිතුරන්ට පමණක් ලබාදෙන බවත්ය.

ගෝලීය තෙල් ප්‍රවාහනය සඳහා ප්‍රධාන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන ලෙස ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීය.

ඉරානය ඉක්මනින් ක්‍රියානොකළහොත් බරපතල ප්‍රතිවිපාක ඇති වන බව ඔහු පැවසීය.

ඔහු අවසන් දිනයක් ලබාදුන් අතර ප්‍රහාර එල්ල කිරීමට පැය 48 ක් පමණක් ඉතිරිව ඇති බව පැවසීය.

මැදපෙරදිග ඉහළ යන ආතතීන් අතරතුර මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

බාධා ඇතිවීමේ බිය හේතුවෙන් තෙල් මිල දැනටමත් ඉහළ ගොස් තිබේ.

බාබ් අල්-මණ්ඩබ් වැනි අනෙකුත් වැදගත් මාර්ගවලට ගැටළු පැතිර යා හැකි බවට ඉරානය ද අනතුරු අඟවා තිබේ.

ඉරානයේ හමුදා බලය දුර්වල කිරීම සහ එරට න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීම අරමුණු කරගනිමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මීට පෙර ඔපරේෂන් එපික් ෆියුරි නමින් හමුදා මෙහෙයුමක් දියත් කර තිබිණි.

මේ අතර එක්සත් ජනපදය කලාපයේ සිය හමුදා බලය ද වැඩිකර තිබේ.

ගැටුම පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ වෙනස් වෙමින් පවතී.

සමහර අවස්ථාවලදී, මෙම යුද්ධය තෙල් ගැන නොවන බව ඔහු පැවසූ නමුත් පසුව එක්සත් ජනපදයට එයින් ප්‍රයෝජන ගත හැකි බව සඳහන් කළේය.

ඉරානය එක්සත් ජනපද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා යථාර්ථවාදී නොවන බව පවසයි.

දැනට, තත්වය නොසන්සුන්ව පවතින අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගෝලීය අවධානයට ලක්වන ප්‍රධාන කරුණක් බවට පත්ව ඇත.