April 2, 2026

යතුරු පැදි අනතුරකින් සිසුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය මුල්කර ගනිමින් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර 66 වැනි වරට පවත්වන මහා ක්‍රිකට් තරඟය අතරමග නතරකිරීමට විදුහල්පතිවරු දෙදෙනා තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මෙම මහා ක්‍රිකට් තරඟය නතර කරන ලෙස යෝජනාවක් කර තිබෙන අතර විදුහල්පතිවරු දෙදෙනා සාකච්ඡා කර අදාළ තීරණය ක්‍රියාත්මක කර තිබෙන්නේ එම යෝජනාව සැලකිල්ලට ගනිමිනි.

මහා ක්‍රිකට් තරඟයේ වැඩකටයුතු සඳහා යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී ශාන්ත සිල්වෙස්තර විදුහලේ උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනා අනතුරට ලක්වූ අතර එක් සිසුවෙකු එම ස්ථානයේදීම මරණයට පත්විය.

අනෙක් සිසුවා බරපතළ තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ.

තරඟය ආරම්භ කරමින් පළමුව පන්දුවට පහර දුන් විද්‍යාර්ථ විදුහල කඩුළු 03 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටියදී ආණ්ඩුකාරවරයාගේ යෝජනාව සැලකිල්ලට ගනිමින් තරඟය අත්හිටුවීමට විදුහලපතිවරු දෙදෙනා තීරණය කර තිබේ.