April 2, 2026

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීමට හැකි වන පරිදි විරෝධතා නොමැති සහතිකයක් (NOC) නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.

නඩුව අද කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවූ අතර එය අප්‍රේල් 9 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.

නුවන් තුෂාර සිය පැමිණිල්ලේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන අය විත්තිකරුවන් ලෙස නම්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විරෝධතා නොමැති සහතිකයක් ලබාගැනීමෙන් පසු තමා 2024 සහ 2025 දී තරඟාවලියට සහභාගී වී ඇති බවත්, 2026 IPL සඳහා රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් තමා තෝරාගත් බවත් නුවන් තුෂාර පවසයි.

කෙසේවෙතත්, නියමිත යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් 2026 තරගාවලිය සඳහා විරෝධතා නොමැති සහතිකයක් නිකුත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති කරගත් ගිවිසුම 2026 මාර්තු 31 වැනි දින අවසන් වීමට නියමිතව තිබූ බවත්, එම ගිවිසුම අලුත් නොකිරීමට සහ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වීමට අදහස් කරන බවත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවත් නුවන් තුෂාර සඳහන් කරයි.

ජාතික කණ්ඩායම සඳහා තමාව තෝරානොගන්නා බව දැනටමත් තමාට දන්වා ඇති බවත්, එබැවින් යෝග්‍යතා හේතු මත පදනම්ව විරෝධතා නොමැති සහතිකයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බවත් ඔහු තවදුරටත් පවසයි.