April 2, 2026

ඉරානය සමඟ පවතින යුද්ධය, එම රට න්‍යෂ්ටික අවි අත්පත්කර ගැනීම වැළැක්වීම සඳහා ඔහු වසර ගණනාවක් පුරා ගෙනයන උත්සාහයේ නවතම පියවර ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විග්‍රහ කර තිබේ.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ, මෙම ගැටුම ඇමරිකාවේ ආරක්ෂාව සහ නිදහස් ලෝකයේ සුරක්ෂිතභාවය සඳහා අත්‍යවශ්‍ය බවයි.

ඊයේ ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව පැවසූ ට්‍රම්ප් කියාසිටියේ, මෙම යුද්ධය ඉරානය සහ ඔවුන්ගේ සහායක කණ්ඩායම් විසින් වසර 47ක් පුරා සිදුකරන ලද ප්‍රචණ්ඩත්වයට ලබා දුන් ප්‍රතිචාරයක් බවයි.

එහිදී ඔහු, මීට වසර 40කට පමණ පෙර සිදුවූ නාවික හමුදා බැරැක්ක බෝම්බ ප්‍රහාරය සහ 2000 වසරේ USS Cole නෞකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සිහිපත් කළේය.

“මෙම ත්‍රස්තවාදීන් සතුව න්‍යෂ්ටික අවි පැවතීම දරාගත නොහැකි තර්ජනයක්. ලොව සිටින වඩාත්ම ප්‍රචණ්ඩකාරී සහ දාමරික පාලන තන්ත්‍රයට, න්‍යෂ්ටික ආවරණයක් පිටුපස සිට ඔවුන්ගේ භීෂණය, බලහත්කාරකම්, ආක්‍රමණ සහ සමූහ ඝාතන මෙහෙයුම් නිදහසේ සිදුකිරීමට එවිට අවස්ථාව ලැබෙනු ඇත.” යනුවෙන් ට්‍රම්ප් එහිදී පැවසුවේය.

තම කතාවේ ආරම්භයේදීම, ට්‍රම්ප් තමන්ට පෙර සිටි ජනාධිපතිවරුන් විවේචනය කළ අතර, තමන් බලයට පත්වීමට පෙර සිටි ඇමරිකානු ජනාධිපතිවරුන් ඉරාන පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබූ බව ප්‍රකාශ කළේය.

“අපට ඉරානයේ රැඳීසිටීමට අවශ්‍ය නැහැ. අපට ඔවුන්ගේ තෙල් අවශ්‍ය නැහැ. ඔවුන් සතු කිසිවක් අපට අවශ්‍ය නැහැ. නමුත් අප එහි ගොස් සිටින්නේ අපගේ මිත්‍ර පාර්ශ්වයන්ට උදව් කිරීමටයි,” ට්‍රම්ප් පැවසීය.

මීට අමතරව, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට දන්වා සිටියේ ඉරාන යුද්ධය අවසන් වෙමින් පවතින බවයි.

තවත් සති දෙකක හෝ තුනක කාලයක් පමණක් මෙම යුද්ධය පවතිනු ඇති බව ඔහු පුරෝකථනය කළේය.