April 1, 2026

එක්සත් රාජධානියේ ලීඩ්ස් හි දී පිහියකින් ඇන 16 හැවිරිදි දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් නව යෞවනයන් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

ක්ලෝයි වොට්සන් ඩ්‍රැන්ස්ෆීල්ඩ් නම් දැරිය මහමග සිහිසුන්ව හා බරපතළ තුවාල ලබා සිටියදී හමුව තිබූ අතර ඇය පසුගිය සෙනසුරාදා අලුයම රෝහලේදී මිය ගියාය.

බටහිර යෝක්ෂයර් පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි කයිලා ස්මිත්, 19 හැවිරිදි ආචී රයික්‍රොෆ්ට් සහ නීතිමය හේතූන් මත නම හෙළි කළ නොහැකි 17 හැවිරිදි පිරිමි ළමයකුට එරෙහිව චෝදනා ගොනු කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

සුදු බ්‍රිතාන්‍ය ජාතිකයන් ලෙස තම ජනවාර්ගිකත්වය ලබා දුන් තිදෙනා ලබන අඟහරුවාදා ලීඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

මිනීමැරුමකට සැකපිට ලීඩ්ස් හි තවත් 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවේ පසුවන බව පොලිසිය පවසයි.

මිනීමැරුමකට සැකපිට අත්අඩංගුවට ගත් තවත් 18 හැවිරිදි පිරිමියකු සහ 17 හැවිරිදි ගැහැණු ළමයකු වැඩිදුර පරීක්ෂණ සඳහා ඇප මත මුදා හැර තිබේ.

ක්ලෝයිගේ පියා සහ අනෙකුත් පවුලේ සාමාජිකයන්, 16 හැවිරිදි තම දියණියගේ මරණයෙන් ඔවුන් ‘අතිශයින්ම කම්පාවට පත් වූ’ බව පැවසීය.

“අපට ඇය ගැන සෑම දෙයක්ම මග හැරෙනවා. ඇය ලස්සනයි, ප්‍රීතියෙන් පිරී සිටියා, සහ අපූරු නිර්භීත පෞරුෂයක් තිබුණා,” ඔවුන් සඳහන් කර තිබේ.

“මගේ ලස්සන කුමරිය ක්ලෝයි. ඔබ මා සමඟ මෙහි නොමැති බව මට හැඟෙන ආකාරය මට වචනවලින් කිව නොහැක” යනුවෙන් ක්ලෝයිගේ මව සටහන් කර තිබිණි.

ක්ලෝයිගේ ඥාතියකු මාර්ගගත අරමුදල් රැස් කිරීමේ පිටුවක් පිහිටුවා ඇති අතර එය අඟහරුවාදා උදෑසන වන විට පවුම් 15,000කට ආසන්න මුදලක් රැස් කර තිබිණි.