March 29, 2026

පවතින ගෝලීය අර්බුද තත්වය මධ්‍යයේ ජනතාවට සහනාධාර ලබා දිය නොහැකි නම් ඔවුන්ගේ ජීවන තත්වය පවත්වා ගෙන යාම සඳහා යම් සහයෝගයක් හෝ ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යෝජනා කළේය.

ජනමාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා කියා සිටියේ ගෝලීය වශයෙන් සිදුවන මිල ඉහළයාම්වලට සාපේක්ෂව මෙරට සියලු භාණ්ඩ හා සේවා සඳහා බලපාන ආකාරයෙන් මිල වැඩි කිරීම් සිදු කිරීම සුදුසු නොමැති බවයි.

වර්තමානයේ රට තුළ සිදුවන්නේ තෙල් මිල ඉහළ දමා විදුලි බිල ද වැඩි කිරීමෙන් ජනතාව මත ආර්ථිකමය වශයෙන් වැඩි බරක් පැටවෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ එවැනි ක්‍රියා හමුවේ පීඩාවට පත්වන්නේ මාසික වැටුපකින් ජීවත් වන ජනතාව බවත්, ඔවුන්ට සිය වැටුපෙන් එවැනි බලපෑමක් විඳදරා ගැනීමට නොහැකි බවයි.

ආණ්ඩුවක් ලෙස එවැනි සාමාන්‍ය ජනතාවට සහනයක් සැලසිය යුතු බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.