March 29, 2026

අනවසරයෙන් ප්‍රෙටල් ලීටර් 48ක් තම නිවසේ රහසිගතව සඟවා තබාගෙන මුදලට අලෙවි කිරීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නිකවැරටිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ. එම්. විමලසේන ඊයේ (28) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ නිකවැරටිය, හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

බී වාර්තාවක් මගින් සැකකාරිය පෙට්‍රල් ලීටර 48 ද සමග අධිකරණය ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ගිරිල්ල පොලිසියට නියෝග කලේය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින්, පෙට්‍රල් සඟවාගෙන අලෙවි කරන බවට ලද තොරතුරක් මත අදාළ නිවස වැටලු බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එම අවස්ථාවේ සැකකාර කාන්තාව සමග ඇගේ සැමියා ද නිවසේ සිටි බවද අධිකරණයට කියාසිටි පොලිසිය, නිවස සෝදිසි කර සඟවා තිබු පෙට්‍රල් ලීටර් 48 පොලිස් භාරයට ගත් අවස්ථාවේ සැකාරියගේ සැමියා නිවසින් පළාගොස් ඇති බවද සඳහන් කළේය.

පළාගිය සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ඇති බැවින් සහ සිද්ධිය සමිබන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින්ද, සැකකාරිය රිමාන්ඩ්භාරයේ තබන ලෙසට පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනිසිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායිකාව පෙට්‍රල් ලීටර් 48 ක් නීතිවිරෝධීව තබා ගත් බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නීතියේ පවතින කුමන ප්‍රතිපාදන යටතේ කුමන වගන්තිය යටතේ ද යන්න පොලිසිය මේ වනතුරුත් නොදන්නා බවයි.

1979 අංක 34 දරන ඛණිජ තෙල් නිෂ්පාදන සැපයුම විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව, පෙට්‍රල් පරිභෝජනය කරන පාරිභෝගිකයකුට පෙට්‍රල් සන්තකයේ තබාගැනීමට නීතිමය බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.(ලංකාදීප)