March 23, 2026

මැදපෙරදිග යුද්ධය විසින්, දශක ගණනාවක් ඇතුළත මුහුණදෙන දරුණුතම බලශක්ති අර්බුදයට ලෝකය ඇදදැමිය හැකි බව අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් අනතුරු අඟවා ඇත.

කැන්බරා හි ජාතික මාධ්‍ය සමාජයේදී අදහස් පළකරමින් බිරෝල් පැවසුවේ, වත්මන් අර්බුදය දැනටමත් 1970 ගණන්වල විනාශකාරී තෙල් කම්පන දෙකේ පරිමාණය ඉක්මවා ගොස් ඇති බවයි.

“අපෙන් බොහෝදෙනෙකුට 1970 ගණන්වල අඛණ්ඩ තෙල් අර්බුද දෙක මතකයි… ඒ අර්බුදයේදී, ලෝකයට දිනකට බැරල් මිලියන පහක් පමණ බැගින් අහිමිවුණා. ඒ කියන්නේ දිනකට බැරල් මිලියන 10ක්. අද වන විට, අපට දිනකට බැරල් මිලියන 11 ක් අහිමිවෙනවා, එය පසුගිය ප්‍රධාන තෙල් කම්පන දෙකකට වඩා විශාලයි” යැයි ඔහු පැවැසීය.

ගෝලීය ආර්ථිකය දැන් “ප්‍රධාන තර්ජනයකට” මුහුණ දී සිටින බවත්, අර්බුදය ගැඹුරු වුවහොත් කිසිදු රාජ්‍යයක් බේරෙන්නේ නැති බවත්, බිරෝල් අනතුරු ඇඟවීය. “යුද්ධය මෙම දිශාවට ගමන් කළහොත් කිසිදු රටක් මෙම අර්බුදයේ බලපෑම්වලින් නිදහස් නොවනු ඇත. ඒ නිසා ගෝලීය උත්සාහයන් අවශ්‍යයි” ඔහු පැවසුවේ, තත්වය හැකි ඉක්මනින් විසඳෙනු ඇතැයි තමා “බොහෝසෙයින් බලාපොරොත්තු වන” බවයි.

ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයන්ගෙන් එකක් සහ පර්සියානු ගල්ෆ් කලාපයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ඉරානය ගැටුමේ කේන්ද්‍රස්ථානය වී ඇත.

ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20ක් ගමන් කරන පටු ජල මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නිදහස්ව ගලායෑමට බාධා එල්ලවී ඇත.

ප්‍රධාන ගෑස් නිධියක් ඇතුළුව ඉරාන බලශක්ති යටිතල පහසුකම් ර්සකට ඊශ්‍රායලය මිලිටරි ප්‍රහාර එල්ල කර තිබේ.

එමඟින් බලශක්ති මිල තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය බලශක්ති සැපයුම්වල දිගුකාලීන ස්ථාවරත්වය පිළිබඳව බටහිර රජයන් සහ අන්තර්ජාතික ආයතන අතර කනස්සල්ල ඇතිකර තිබේ.