March 19, 2026

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ ප්‍රකාශය බිය ගැන්වීමක් යටතේ ලබාගත් බවට ඔහුගේ නීතිඥයන් විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇති දිවුරුම් ප්‍රකාශයක් ඔස්සේ සඳහන් කර ඇත.

එයාර් බස් ගනුදෙනුව හරහා ලැබුණු අරමුදල්වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් මිලියන 60 ක මුදලක් ගෙවන ලද බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් පසුව මෙම දිව්රුම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්කර තිබේ.

අධිකරණ කරුණු දැක්වීම්වලට අනුව, රුපියල් මිලියන 60 ක් වෙනවෙනම අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂට ගෙවන ලද බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර තිබේ.

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට තවත් රුපියල් මිලියන 20 ක් ගෙවන ලද බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා චන්ද්‍රසේන මහතා අප්‍රේල් 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ජනමාධ්‍ය වෙත නිකුත්කර ඇති කපිල චන්ද්‍රසේනගේ නවතම දිව්රුම් ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

‘මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාරර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව. එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බිය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගගිමන් මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බවයි.’