March 19, 2026

ලොව විශාලතම ස්වාභාවික ගෑස් සංචිතය වන ඉරාන පාලනය යටතේ පවතින දකුණු පාර්ස් කොටසට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊශ්‍රායලය ප්‍රහාරය සිදු කළ බවට ඉරාන මාධ්‍ය චෝදනා කර ඇති අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් පැවසුවේ ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශයේ ගින්නක් ඇති වූ බවයි.

එම ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.

පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටා ඇති දකුණු පාර්ස් ක්ෂේත්‍රය ඉරානය සහ කටාර් ඒකාබද්ධව බෙදා ගන්නා අතර එය ලෝකයේ විශාලතම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රය ලෙස සැළකේ.

කටාර් යනු ලොව ප්‍රමුඛතම ද්‍රව ස්වාභාවික ගෑස් අපනයනකරුවන්ගෙන් කෙනෙකු වන අතර, පවතින සම්බාධක හේතුවෙන් ඉරානය බොහෝ දුරට දේශීය භාවිතය සඳහා එහි නිෂ්පාදනය මත රඳා පවතී.

බටහිර සම්බාධක සහ කළමනාකරණ අභියෝග හේතුවෙන් ඉරානය එහි සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාවට ළඟා වී නොමැති බවත්, එමඟින් කටාර් වෙත එහි නිෂ්පාදනය සහ ගෝලීය වෙළඳපල කොටස පුළුල් කිරීමට ඉඩ සැලසෙන බවත් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

වාර්තා වූ ඊශ්‍රායල ප්‍රහාරය හෙළා දකිමින් කටාර් රාජ්‍යය අනතුරු අඟවා ඇත්තේ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර බරපතළ කලාපීය සහ ගෝලීය ප්‍රතිවිපාක ඇති කළ හැකි බවටයි.

ඉරානය මෙම ප්‍රහාරයට එරෙහිව පළිගැනීමට සපථ කර ඇති අතර, එවැනි ප්‍රහාර අඛණ්ඩව පැවතුනහොත් ගල්ෆ් කලාපය පුරා බලශක්ති ස්ථාපනයන් ඉලක්ක කර ප්‍රහාර දියත්විය හැකි බවට අනතුරු අඟවා තිබේ.