March 16, 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබාගැනීම සඳහා යුද නැව් එවන ලෙස රටවල් හතකින් පමණ තමා ඉල්ලා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඉරාන යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ ගියද, ඔහුගේ මෙම ඉල්ලීම්වලට මෙතෙක් නිශ්චිත එකඟතාවක් ලැබී නොමැත.

ලෝකයේ වෙළඳාම් කෙරෙන තෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් සාමාන්‍යයෙන් ගලායන මෙම මුහුදු මාර්ගය ආරක්ෂා කිරීමේ සන්ධානයට එක්කර ගැනීම සඳහා, මැදපෙරදිග බොරතෙල් මත දැඩි ලෙස යැපෙන රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව පැවසුවද, එම රටවල් මොනවාදැයි නම් කිරීමට ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.

“මේ රටවල් පැමිණ තමන්ගේම භූමිය ආරක්ෂා කරගත යුතුයි කියා මා ඉල්ලා සිටිනවා, මන්ද එය ඔවුන්ගේම භූමිය නිසා,” යැයි ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය පිළිබඳව පවසමින් සඳහන් කළේය.

තවද, එක්සත් ජනපදයට තමන්ගේම තෙල් සම්පත් ඇති බැවින් මෙම නාවික මාර්ගය තමන්ට අත්‍යවශ්‍ය දෙයක් නොවන බවද ඔහු කියාසිටියේය.

ෆ්ලොරිඩාවේ සිට Air Force One යානයෙන් නැවත වොෂින්ටනය බලා එන අතරතුර ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

චීනය ඔවුන්ගේ තෙල් අවශ්‍යතාවයෙන් 90%ක් පමණ මෙම සමුද්‍ර සන්ධියෙන් ලබාගන්නා බවත්, එක්සත් ජනපදය ලබාගන්නේ ඉතා අවම ප්‍රමාණයක් බවත් ට්‍රම්ප් පැවසීය.

චීනය මෙම සන්ධානයට එක්වන්නේද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

“අනෙකුත් රටවල් අප සමඟ එක්ව මෙය ආරක්ෂා කරන්නේ නම් එය හොඳයි, අපි ඔවුන්ට උදව් කරනවා. අපි ඔවුන් සමඟ වැඩ කරනවා,” යැයි ට්‍රම්ප් පැවසීය.

මීට පෙර ඔහු චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ බ්‍රිතාන්‍යය යන රටවලින් මේ සඳහා සහාය ඉල්ලා තිබිණි.

මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි CBS නාලිකාවට පවසා තිබුණේ, තම නෞකා සඳහා ආරක්ෂිත ගමන් මගක් ඉල්ලා රටවල් ගණනාවක් තමන් වෙත පැමිණ ඇති බව සහ ඒ පිළිබඳව තීරණය කිරීම තම හමුදාවට භාර බවත්ය.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා නොදෙමින් ඔහු කියාසිටියේ විවිධ රටවලට අයත් නෞකා කණ්ඩායමකට ගමන් කිරීමට අවසර ලබාදුන් බවයි.

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් හැර අනෙකුත් සියලුම රටවල් සඳහා සමුද්‍ර සන්ධිය විවෘත බව ඉරානය ප්‍රකාශ කර ඇත.