March 13, 2026

පුද්ගලයෙකු හිටපු මහඇමති ෆාරුක් අබ්දුල්ලාට වෙඩි තබන ආකාරය, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු හි පැවැති විවාහ උත්සවයක සීසීටීවී දර්ශනවලින් පැහැදිලිව දැකගත හැකිය.

කෙසේවෙතත් ඉකුත් බදාදා පස්වරුවේ එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් අබ්දුල්ලාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කමල් සිං ජම්වාල් නමැත්තකු බව හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය බීබීසී පුවත් සේවයට පවසා ඇත.

අවස්ථා 05 කදී කාශ්මීරයේ මහඇමති ධුරය හෙබවූ අබ්දුල්ලා ප්‍රමුඛ කලාපීය දේශපාලන පක්ෂයක් වන ජම්මු සහ කාශ්මීර ජාතික සමුළුවේ සභාපතිවරයා ද වේ.

ඔහුගේ පුත්, වත්මන් මහඇමති ඕමාර් අබ්දුල්ලා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබුණේ “දෙවියන් වහන්සේ කරුණාවන්තයි. මගේ පියා නූලෙන් බේරුණා. දැනට ලැබී ඇති තොරතුරු අල්ප වුවත්, පිස්තෝලයක් සහිත පුද්ගලයෙකුට ඉතා සමීපයට පැමිණ වෙඩි තැබීමට හැකි වී ඇති බව පැහැදිලියි.” යනුවෙනි.

එරට ඉහළම ආරක්ෂක මට්ටමක් වන Z+ ආරක්ෂාව හිමි තම පියා අසලට මෙතරම් සමීපවීමට පුද්ගලයකුට හැකි වූයේ කෙසේ දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.

https://www.youtube.com/watch?v=VCeoKAjq-9E