March 12, 2026

ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් පසුගිය සතියේ දී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳ තමන් ප්‍රශ්න කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙන්ටකි, හෙබ්‍රොන් හි පැවති රැලියක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ යාත්‍රාව අල්ලා ගැනීම වෙනුවට විනාශ කළේ මන්දැයි හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවයි.

“මම කිව්වා, මොන කෙහෙල්මලකටද අපි ඒගොල්ලන්ව මැරුවේ ? අපිට ඔවුන්ව අල්ලාගෙන අපේ නාවික හමුදාවේ වැඩට පාවිච්චි කරන්න තිබුණනේ කියලා ?” යනුවෙන් ඔහු ආධාරකරුවන්ට පැවසීය.

එහිදී තම ජෙනරාල්වරයකු යාත්‍රාව ගිල්වා දැමීම වඩාත් සුදුසු බව පැවසූ බවත්, “සර්, එය වඩාත් විනෝදජනකයි” යනුවෙන් සඳහන් කළ බවත් ට්‍රම්ප් තවදුරටත් පැවසුවේය.

පසුගිය සතියේ ශ්‍රී ලංකාව අසල අන්තර්ජාතික මුහුදේදී ඉරාන නාවික හමුදා නෞකාව ඇමරිකානු සබ්මැරීනයක් විසින් ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්කර ගිල්වා දැමූ අතර, ප්‍රහාරයෙන් නාවිකයන් සියයකට වැඩි ගණනක් මිය ගියහ.

මේ අතර, ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර ඒකක දෙකක දැනට තැන්පත් කර ඇති ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ මළ සිරුරු ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස නියෝග කර තිබේ.

මෙම නියෝගය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ විසින් ඊයේ (11) නිකුත් කර තිබිණි.

ඒ අනුව, ඉරාන තානාපති කාර්යාල නියෝජිතයන්ට දේහය මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

ගාලු වරාය පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබා දෙන ලදී.

ඇමරිකා එක්සත් ජනපදය විසින් IRIS Dena නෞකාවට පහර දී ගිල්වා දැමූ විට මියගිය නාවිකයන් රැසකගේ මළ සිරුරු කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ඉරානය මීට පෙර නිවේදනය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඉරාන හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය පැවසුවේ මළ සිරුරු 104න් 84ක් හඳුනාගෙන ඇති අතර ඒවා කඩිනමින් ඉරානයට රැගෙන එන බවයි.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උත්සාහයන් සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව නැවත ගෙන්වා ගැනීම සිදුකරන බව එම නිවේදනයේ සඳහන් විය.

මේ අතර, ශ්‍රී ලංකාව භාරයේ පසුවන ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ගත යුතු ඊළඟ පියවර පිළිබඳ රජයේ බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ප්‍රකාශ කළේ තානාපති කාර්යාල නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

නෞකාවෙන් බේරාගත් නාවිකයන් 32 දෙනෙකු සහ IRIS Bushehr නෞකාවේ නාවිකයන් 204 දෙනෙක් දැනට ශ්‍රී ලංකාවේ භාරයේ සිටිති.

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති වී ඇති ගැටුම මධ්‍යයේ, ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ගනු ලබන තීරණ කෙරෙහි සැළකිව යුතු අවධානයක් යොමු වී තිබේ.

කෙසේවෙතත්, ඉරිදා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ රජය ඉරාන නාවිකයන්ට මාසයක නොමිලේ වීසා බලපත්‍ර ලබා දෙන අතර මානුෂීය හේතූන් මත ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව භාරයේ සිටින ඉරාන නාවිකයන් මෙන්ම මියගිය ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ද මේ හා සමාන අදහස් පළ කළේය.