March 6, 2026

ගෙවුණු මාස කිහිපය පුරා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයන් හමුවේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නෝම් එම ධුරයෙන් ඉවත්කර ඇත.

මිනියාපොලිස්හිදී ෆෙඩරල් නිලධාරීන් අතින් අමෙරිකානු පුරවැසියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීම සහ ඩොලර් මිලියන 220ක වෙළඳ දැන්වීම් කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්න මෙම ඉවත් කිරීමට හේතු වී තිබේ.

සිය Truth Social සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඇය වෙනුවට ඔක්ලහෝමා ප්‍රාන්ත සෙනෙට් සභික මාර්ක්වේන් මුලින් මෙම මස අවසානය වන විට පත්කරන බවයි.

මෙම පත්කිරීම සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ.

දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරියක වූ නෝම්, සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි සහ රළු භාෂාවක් භාවිත කරමින් සමාජ මාධ්‍ය හරහා පළකළ අදහස් හේතුවෙන් ට්‍රම්ප්ගේ කැබිනට්ටුවේ වඩාත්ම අවධානයට ලක්වූ ලේකම්වරියක බවට පත්ව සිටියාය.

මෑතකාලීන මත විමසුම්වලට අනුව මහජන අප්‍රසාදයට පත්ව තිබූ දැඩි සංක්‍රමණ මර්දන වැඩපිළිවෙළේ ප්‍රධාන මුහුණුවර ලෙස පෙනීසිටි ඇයගේ ඉවත් වීම, ට්‍රම්ප්ට තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගයක් වන සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රවේශය යළි සකස් කිරීමට අවස්ථාවක් ලබාදී තිබේ.