March 5, 2026

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබෙන ඉරානයට අයත් තවත් නෞකාවක් පිළිබඳ විදෙස් ජනමාධ්‍ය කිහිපයක් අද වාර්තා කර තිබේ.

මේ අතර හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ පවතින ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම සඳහා අවසර ඉල්ලා ඇති බවයි.

එම පුවත් සේවයට අනුව අදාළ නෞකාව මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරානයේ ‘IRIS Dena’ නෞකාව ඊයේ මුහුදුබත් වී තිබූ පසුබිමකදී ය.

“ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට මඳක් ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික කලාපය තුළ තවත් ඉරාන නෞකාවක් පවතින බවත්, එය රජයේ අවසරය ඉල්ලා ඇති බවත් අපගේ අවධානයට යොමු වී තිබේ. කෙසේ වෙතත්, එයට රජයේ අවසරය මෙතෙක් ලැබී නොමැත,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉරානයේ යුද නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට මඳක් ඔබ්බෙන් පවතින බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කළ නමුත් ඒ පිළිබඳ අමාත්‍යවරයා වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.

මේ අතර එන් ඩී ටී වී පුවත් සේවය වාර්තා කර ඇත්තේ ගොඩබිමට ආසන්න මුහුදු සීමාවේ ආරක්ෂාව ලබා ගැනීම සඳහා ඉරානය මෙරටින් අවසර ඉල්ලා ඇති බව වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉහළ පෙළේ නිලධාරීන් හමුවෙමින් සිටින බවයි. මේ අතර ඊයේ සිදුවූ ඉරාන නෞකා අනතුරින් අතුරුදන්ව සිටින බවට ගණන් බලා ඇති පුද්ගලයන් 60 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව නාවික හමුදා ප්‍රකාශක බුද්ධික සම්පත් පැවසූ බව ද එම පුවත් සේවය වාර්තා කර තිබේ.