March 4, 2026

වසර 14කට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ මව්බිම හා Ceylon Today පුවත්පත් හදිසියේම වසාදැමීමට තීරණය කර තිබේ.

මෙම පුවත්පත් පවත්වාගෙන ගිය මාධ්‍ය ආයතනයේ අයිතිය හිටපු අමාත්‍ය ටිරාන් අලස් සතුවේ.

මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බව අද (04) වෙළෙඳපොළට නිකුත් වූ මව්බිම හා Ceylon Today පුවත්පත්වල මුල් පිටුවේ සඳහන් කර තිබිණි.

එම සටහනෙහි මෙසේ සඳහන් විය.

“දිනපතා මව්බිම හෙට සිට ඩිජිටල් අවකාශයෙන් හමුවෙමු

දා හතර වසරකට වැඩි කාලයක් තිස්සේ වගකීම් සහගතව, ස්වාධීනව සහ පැහැදිලි බවින් යුතුව පුවත් සැපැයූ මව්බිම දිනපතා පුවත් පත ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය තුළ අනගි සන්නාමයක් බවට පත් වූයේ පාඨක ඔට අප වෙත තැවූ විශ්වාසය නිසාමය.
එසේ වුවද පාඨකයන් ප්‍රවෘත්ති පර්භෝජනය කරන ආකාරය වේගවත් වෙනසකට ලක් වෙමින් පවතින පසුබිමක මේ ප්‍රවණතාවන්ට අනුගත වන්නට අප පොළඹවා තිබේ.
ඒ අනුව මව්බිම දිනපතා පුවත් වාර්තාකරණය මින් ඉදිරියට වඩාත් නව්‍යතාවෙන් සහ සුපුරුදු විශ්වසනීයත්වයෙන් යුතුව ඩිජිටල් වේදිකා හරහා පමණක් පාඨක ඔබ වෙත ගෙන එනු ඇත.
එසේම සිය ජීව ගුණය තවදුරටත් වර්ධනය කරගනිමින් ඉරිදා මව්බිම පුවත්පත අඛණ්ඩව සෑම සති අන්තයකම පාඨක ඔබ අතට පත් කරන්නට අපි කැප වන්නෙමු.”

ආයතනය ගනු ලැබූ මෙම තීරණය ආයතනයේ සේවකයන්ට හදිසියේ දැනුම්දී ඇති ඊයේ(3) බව ද වාර්තා වේ.

මේ හේතුවෙන් එහි සේවකයන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

මවුබිම පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදීන්ට මාස දෙකක හිඟ වැටුප් තවමත් ලබාදී නොමැති බවත් වසර ගණනාවකින් සේවක අර්ථසාධක අරමුදල් බැර කර නොමැති බවත් වාර්තා වේ.