March 4, 2026

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරයකින් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානි වූ බවට කළ ප්‍රකාශයන් අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) ප්‍රතික්ෂේප කර ඇත.

එම නෞකාවට කිසිදු ප්‍රහාරයක් එල්ල නොවූ බවත්, අදාළ මිසයිල නෞකාව අසලටවත් පැමිණීමට අපොහොසත් වූ බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) තවදුරටත් සඳහන් කළේ, ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ල වන තර්ජන තුරන්කිරීම මගින් ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම සඳහා සහාය දැක්වීමට එම ගුවන් යානා ප්‍රවාහන නෞකාව අඛණ්ඩව ගුවන් යානා දියත් කරමින් පවතින බවයි.

මේ අතර ඇමරිකානු හමුදාව ප්‍රකාශ කළේ, තමන් ඉරානයට අයත් ජමාරන් පන්තියේ කොර්වෙට් යුද නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවත්, එම නෞකාව මේ වන විට ඕමාන් බොක්කේ පතුලට ගිලෙමින් පවතින බවත්ය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි, ඉරාන සන්නද්ධ හමුදා සාමාජිකයන් සහ විප්ලවවාදී ආරක්ෂක භටයන් ඔවුන්ගේ ආයුධ බිම තැබිය යුතු බවත්, නෞකාවෙන් ඉවත් විය යුතු බවත් අමෙරිකානු හමුදාව පවසා තිබේ.