March 3, 2026

මැදපෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික විය.

අද පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවේ, පවතින ඉන්ධන තොග සහ වත්මන් තත්ත්වයන් යටතේ අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා වන විධිවිධාන සලසා ඇති බවයි.

ජනාධිපති අනුර දිසානායක මහතාට අනුව, ඉදිරි දින 33 සඳහා ප්‍රමාණවත් ඩීසල් තොග සහ ඉදිරි දින 27 සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් තොග ශ්‍රී ලංකාවේ තිබේ.

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

“සමස්ත අර්බුදයේ විසඳුම තනි තනි පුද්ගලයින් අතේ නෑ… සමස්ත අර්බුදයේ විසඳුම් මාවත සෙවීමේ දී ප්‍රධාන වගකීම ආණ්ඩුව සතුයි. ඒ අතර පාර්ලිමේන්තුවේ හැමදෙනාටම අතහැරිය නොහැකි වගකීමක් තියෙනවා. පුරවැසියාටත් යම් සැලකිය යුතු වගකීමක් තියෙනවා. ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ අපි සියලුදෙනා සහ ජනතාවට එක අරමුණක් සහ වැඩිපිළිවෙලක් අනුව මෙයට මුහුණදිය යුතුයි යන්න අපේ යෝජනාවයි.”

“අපිට ප්‍රධාන ප්‍රශ්නය තමා ගබඩාවල තිබෙන ධාරිතාව. මාස දෙක තුන තරම් කාලයක් තෙල් ගබඩා කිරීමට ධාරිතාවයක් අපේ ගබඩාවල නෑ. අපේ ගබඩා හැමවෙලේම කරන දේ තමා ඊළඟ නැව එනවිට ඒ තෙල් ගබඩා කිරීමට ගබඩා හිස් කරනවා. ගබඩා පුරවගෙනම ඉන්න බෑ. ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අතහැරියොත් කෙළොන්නාවේ සහ මුතුරාජවෙල මුළු ගබඩා ධාරිතාව 150,000ක් විතරයි. හැබැයි ඒ ප්‍රමාණයම තියාගෙන ඉන්න බෑ. ඊළඟ නැව එද්දි ගබඩාව හිස් කරගන්න ඕන. ඒ නිසා නැව් එන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමා අපි ඉන්නේ. 103,000ක් ගබඩා පිරිලා තිබුණේ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,800ක් පිරිලා. අපි හොඳ සැලැස්මක හිටියා. ඒ අනුව අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා.

අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා. පෙට්‍රල්වල මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 106,187ක්. අර්බුදය මතුවෙද්දී මෙට්‍රික් ටොන් 136, 270ක ගබඩා ධාරිතාවයක් තිබුණා. අපි ඔපරේෂන් කරන්නෙත් මේ ගබඩාවලින්ම තමා. අපිට තිබුණා නම් වෙනම සංචිත, ආරක්ෂිත ගබඩා කිරීමක් කරන්න වෙනම තොගයක් තිබුණා නම් එය ඔපරේෂන් සඳහා වෙනම පවත්වාගෙන යන්න තිබුණා. අපිට කවදාවත් ආරක්ෂිත තොගයක් නෑ. ඒ අනුව ඕනෑම මෙහොතකදී අර්බුදයකදී අපට තබාගත හැකි උපරිම ප්‍රමාණය අපි මේ මොහොත් රඳවා ගෙන හිටියා.

පෙට්‍රල් දින 27කට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. 7 හෝ 8 වෙනිදා තවත් නැවක් එනවා මෙට්‍රික් ටොන් 35,000ක. ඔක්කෝම ගත්තහම දින 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රෙටල් සංචිත අපි සතුව තියෙනවා. අපිට ඕන විදියට නැව් ගේන්න බෑ. ගබඩා හිස්වෙන ප්‍රමාණයට තමා තෙල් ගේන්න වෙන්නේ. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ

ගුවන් යානා ඉන්ධන සැපයුම සාමාන්‍ය දෛනික සැපයුම මෙට්‍රික් ටොන් 1,800ක් පමණ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,080ක් හදනවා. ඉතුරු ටික අපි ආනයනය කරනවා. ඔක්කෝම ගත්තහම දින 49කට ගුවන් යානා ඉන්ධන සැපයුම් තියෙනවා. දවස ගතවෙද්දි නැවත ගබඩා හිස්වෙනවා. දැනට අපි නැව් ටික පෙළගස්වා තියෙනවා. RM Park සමාගම 14 වෙනිදා නැවක් එනවා. සිනෝපෙක් නැවක් එනවා 17 වෙනිදා. IOC නැවක් එනවා 21 වෙනිදා. තෙල් සංස්ථා‌වේ නැවක් 28 වෙනිදා එනවා.

දැන් තියෙන බොරතෙල් ප්‍රමාණය දින 26කට ඇති. අපි තවත් නැවක් ගේන්වා. ඒ නැව තව දින 18කට ඇති. එතකොට අපිට බොරතෙල් දින 44කට බොරතෙල් පිරිපහදුව දුවන්න පුළුවන්. ඒ නිසා තෙල්වල කිසිදු අර්බුදයක් නෑ.”