February 28, 2026

කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් දිට්ව සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යවසායකයන්ට සහන ලබා දෙන බව පවසමින් වංචනික ලෙස මුදල් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින පිළිමතලාවේ භික්ෂුවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන්ට සහන ආධාර ලබා දෙන බවට පොරොන්දු වී වංචනික ලෙස මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇත.

සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා වෙත ඉදිරිපත් කළ විට, රුපියල් මිලියන 1 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබා දෙන ලදී.

සැකකරුට එරෙහිව වෙනම නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත්, එම කාරණය සම්බන්ධයෙන් ඔහු දැනට රිමාන්ඩ් භාරයේ සිටින බවත් තවදුරටත් අනාවරණ විය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යවසායකයන්ට මූල්‍ය ආධාර ලබදීම සඳහා වැඩමුළුවක් සංවිධානය කර ඇති බව පවසමින් සැකකරු WhatsApp හරහා පණිවිඩ බෙදා හැර ඇති බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මූල්‍යමය දායකත්වයන් ඉල්ලා බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

විමර්ශනවලින් හෙළි වූයේ සැකකාර භික්ෂුවගේ නමින් ලියාපදිංචි කර ඇති බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 6ක් බැර කර ඇති බවයි.

වට්ස්ඇප් ගිණුම සම්බන්ධයෙන් තවදුරටත් කළ විමසීම්වලදී අනාවරණ වී ඇත්තේ සන්නිවේදනය සඳහා භාවිත කරන ලද සිම් කාඩ්පත සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

විත්ති කූඩුවවේ සිටි භික්ෂුව ප්‍රකාශ කළේ තමන් සිම් කාඩ්පත ඩුබායි හි පදිංචි මිතුරෙකුට භාර දුන් බවත්, අදාළ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 6ක මුදලක් තැන්පත් කර ඇත්තේ මෙම මිතුරා බවත්ය.

මෙම කාරණය ජුනි 25 වන දින නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.