February 27, 2026

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (27) උදෑසන ශ්‍රී ලංකාවට ගෙනඑන ලද පාතාල කල්ලි නායක ජනිත් මධුශංක නොහොත් ‘පොඩි ලැසී’ දින හතක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය ගාල්ල පොලිස් අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබේ.

විත්තිකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඉහළ පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොඩි ලැසී, 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම නැවත ශ්‍රී ලංකාවට ගෙනඑන ලදී.

පසුව ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශයට භාරදෙන ලදී.

2024 දී, අධිකරණය විසින් ඇප ලබාදීමෙන් පසු සැකකරු අතුරුදහන් වූ අතර, පසුව ඔහු ඉන්දියාවට පළාගොස් ඇති බව වාර්තා විය.

අධිකරණය ඔහුට ඇප ලබා දී තිබුණද, ඊළඟ අධිකරණ දිනය දක්වා විදේශ ගමන් තහනමක් ද පනවා තිබිණි.

කෙසේවෙතත්, ‘පොඩි ලැසී’ ඉන්දියාවට පළායෑමෙන් මෙම ඇප කොන්දේසි උල්ලංඝනය කළේය.

පසුව ඔහු 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධී ලෙස රටට ඇතුළු වීමේ චෝදනා මතය.