February 27, 2026

ශ්‍රී ලංකාව බුද්ධි ගලන අර්බුදයකට මුහුණ දී සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එම අධ්‍යයනය අනුව වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ කෘෂිකර්මාන්තය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල සියයට 80-90 දක්වා වන රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් ස්ථිරවම සංක්‍රමණය වන බවත්, කිසිදා ආපසු නොඑන බවත්, අදාළ අධ්‍යයනය සම්බන්ධ සිලෝන් පබ්ලික් අෆෙර්ස්(Ceylon Public Affairs) හි මෑත ලිපියකින් පෙනීයයි.

2025 දී බුද්ධි ගලන මට්ටම් ගවේෂණය කරන ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 87ක් වැය කරන බවයි.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙලෙස ලබාදෙන නිදහස් අධ්‍යාපනය ධනවත් රටවල් සඳහා ‘සංවර්ධන ආධාර වැඩසටහනක්’ බවට පත් කර ඇති බවය.

හොඳම සහ දීප්තිමත්ම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් බටහිර රටවල ආර්ථිකයන්ට දායක වන අතර ශ්‍රී ලංකාව සියයට 24.5ක දරිද්‍රතා අනුපාතයක් සමඟ පොරබදමින් සිටින බව අධ්‍යයනයෙන් හෙළිකර ඇත.

“වාර්ෂිකව, කලා (සියයට 25), කළමනාකරණය (සියයට 20), ඉංජිනේරු (සියයට 13) සහ වෛද්‍ය (සියයට 10) වැනි විෂයයන් හරහා උපාධි අපේක්ෂකයන් 42,000ක් අධ්‍යාපනය ලබනවා. කෙසේවෙතත්, මෙම ක්‍රමය නොදැනුවත්වම දක්ෂ සේවකයන්ගේ සංක්‍රමණයට හේතු වනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයට අනුව, විද්‍යාව පදනම් කරගත් උපාධිධාරීන් වන දීප්තිමත්ම උපාධිධාරීන් රංචු පිටින් පිටව යනවා. සමහර දෙපාර්තමේන්තුවල සංක්‍රමණ අනුපාතය සියයට 80 ඉක්මවනවා.” යනුවෙන් අදාළ ලිපියේ දැක්වේ.

මෙතරම් ඉහළ බුද්ධි ගලනයකට හේතුව ආර්ථික හා සමාජීය යථාර්ථයන් බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

මෙම බුද්ධි ගලනයේ ප්‍රතිවිපාක ගැඹුරු ය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන පද්ධති දැනටමත් පීඩනයට ලක්ව ඇති අතර, වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හිඟය ඉතිරි වෘත්තිකයන් මත පීඩනය වැඩි කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයට අනුව, රාජ්‍ය ආයෝජනවලින් යම් ප්‍රමාණයක් ආපසු ලබා ගැනීම සඳහා මතභේදාත්මක පියවර දෙකක් යෝජනා කර ඇත.

සංක්‍රමණික උපාධිධාරියකුට රජයට ඇමරිකානු ඩොලර් 10,000-15,000ක් ආපසු ගෙවීමට අවශ්‍ය කිරීම හෝ ඔවුන්ගේ පවුල්වලට ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000ක් අනිවාර්ය කිරීම එම පියවර දෙකය.

කෙසේවෙතත්, එය බලාත්මක කිරීමේ හැකියාව බාධාවක් ලෙස පවතී.