February 26, 2026

රක්ෂණ කර්මාන්ත නියාමනය කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ටයිසර්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් සමාගමට චෝදනා එල්ල වූ නඩුවක් විභාගය සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කර තිබේ.

එම සමාගම විසින් මතු කරන ලද මූලික විරෝධතා ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

දේශීය රක්ෂණ සමාගම් සියල්ලේම වැඩවර්ජන, කැරලි කෝලාහල සහ සිවිල් නොසන්සුන්තා රක්ෂණ හිමිකම් ප්‍රතිරක්ෂණය කරනු ලබන දේශීය ආයතනය වන ජාතික රක්ෂණ භාර අරමුදලෙන් (NITF) ටෙන්ඩරයක් ලබාගත් බවට ටයිසර්ස් සමාගමට චෝදනා එල්ල විය.

2024 නොවැම්බර් 1 වැනි දින සිට ආරම්භ වන වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල් ප්‍රතිරක්ෂණ ටෙන්ඩරය විදේශීය රක්ෂණ තැරැව්කරු වන ටයිසර්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් සමාගමට පිරිනමා ඇත.

ප්‍රතිරක්ෂණ කොන්ත්‍රාත්තුව සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලෙන් ගෙවිය යුතු වාරිකය රුපියල් බිලියන 1 කට ආසන්න බව ගණනය කර තිබේ.

ටයිසර්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම, එහි නියෝජිතයා ලෙස කටයුතු කරන දේශීය සමාගමක් හරහා 2024 අගෝස්තු මාසයේ පැවති ලංසු විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව මෙම ටෙන්ඩර් ප්‍රදානය මතභේදයට තුඩුදුන්නේය.

ඉන් අනතුරුව, 2024/2025 වර්ෂය සඳහා වන ටෙන්ඩරය ටයිසර්ස් ඉන්ෂුවරන්ස් සමාගම වෙත පිරිනමන ලදී.

දේශීය රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ස්ට්‍රැටීජික් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම, මෙම ටෙන්ඩර් ප්‍රදානය අභියෝගයට ලක්කරමින් දිසා අධිකරණයේ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී නොමැති ආයතනවලට ශ්‍රී ලංකාව තුළ කිසිදු ටෙන්ඩරයකට ඉදිරිපත් වීමට හෝ නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට එම පනත මගින් බාධා පමුණුවන බව දේශීය රක්ෂණ තැරැව්කරුවෝ තර්ක කරති.

කෙසේවෙතත්, තමන්ට ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට අවසර ඇති බව පවසමින්, තමන්ට එරෙහිව නඩු පැවරීමට ටයිසර්ස් ඉන්ෂුවරන්ස් සමාගම විරෝධය පළකර තිබේ.